Popular Posts

Thursday, February 9, 2012

ආනන්ද කුමාරස්‌වාමි මහතා

මෙරට විසූ ඉතාම කීර්තිමත් හින්දු පවුලකට දාව ඔහු උපත ලැබුවේ 1877 වර්ෂයේ අගෝස්‌තු මස 12 දිනය. ඔහුගේ පියා වූයේ මහා බ්‍රිතාන්‍යයේ අධිකරණයෙහි නීතිඥයකු ලෙස කටයුතු කිරීමට වරම් ලැබූ ක්‍රිස්‌තියානි - නොවන ප්‍රථම ආසියාතික වූද වික්‌ටෝරියා රැජින වෙතින් නයිට්‌ පදවියකින් සම්මාන ලැබූ ප්‍රථම ආසියාතිකයා වූ ශ්‍රීමත් මුතුකුමාරස්‌වාමි මහතාය. ලංකා ව්‍යවස්‌ථාදායක සභාවේ ප්‍රථම දෙමළ ජාතික මන්ත්‍රීවරයාද වූ ඔහු පාලි භාෂාවෙන් රචිත සුත්ත නිපාතය, ධාතු වංශය වැනි වැදගත් බෞද්ධ ග්‍රන්ථ මෙන්ම දෙමළ බසින් රචිත හින්දු ආගමික පොත් ද ඉංගී්‍රසි බසට පෙරලූ උගතෙකු ද විය. ආනන්ද කුමාරස්‌වාමි මහතා අප රට නිදහස්‌ සටනෙහිදී පුරෝගාමීව කටයුතු කළ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් සහ ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් ගේ ඥති පුත්‍රයකු ද විය. වයස අවුරුදු දෙකේදී ඔහුගේ පියා අකාලයේ මිය ගිය පසු, සිය මව විසින් ඔහු එංගලන්තයට කැටුව ගොස්‌ ඔහුට එහි අධ්‍යාපනය ලබා දෙන ලදී. එහිදී උසස්‌ අධ්‍යාපනය ද ලැබූ කුමාරස්‌වාමිමහතා ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක්‌ද ලබා ගත් අතර ලංකාවට පෙරළාපැමිණීමට පෙර වාග් විද්‍යාව පිළිබඳ පාඨමාලාවක්‌ ද හැදෑරීය. 

1966 වර්ෂයේ දී ඔහු මෙරට ඛනිජ විද්‍යාමය ගවේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ වශයෙන් පත් වූයේ විසිනව වැනි වියේ සිටියදීය. එම තනතුරෙහි 1909 වර්ෂය තෙක්‌ සේවය කිරීමේදී රටෙහි විවිධ පළාත්වල ගවේෂණ කටයුතුවල යෙදීමට සිදුවූ අතර ලංකාවට ආවේණික වූ "තෝරියනයිට්‌" වැනි ඛනිජ වර්ග හඳුනා ගැනීමට අමතරව ලංකාවේ චිත්‍ර කලා හා කලා ශිල්ප පිළිබඳ වැදගත් සාධක තොරතුරු එක්‌රැස්‌ කිරීමට ද කුමාරස්‌වාමි මහතා අමතක නොකළේය. ඒවායේ ප්‍රතිඵලය වූයේ "මධ්‍යකාලීන සිංහල කලා ශිල්ප" යන මාහැඟි පර්යේෂණ ග්‍රන්ථය 1968 වර්ෂය වනවිට බිහි කිරීමට හැකි වීමය. එම ග්‍රන්ථය ඔහු විසින් පළ කරන්නට යෙදුන සම්භාවනීය ග්‍රන්ථ පෙළක පළමුවැන්න විය. අපට උරුම වූ අගනා දේශීය සංස්‌කෘතියෙහි විශිෂ්ට සංකේත වූ අපගේ පාරම්පරික කලා ශිල්පවලට යටත් විජිතවාදී පාලනයෙන් සිදුවෙමින් පැවති දැඩි හානිය ගැන ඉමහත් වේදනාවෙන් පසු වූ ඔහු එම පරිහානිය වළක්‌වාලීම සඳහා "සමාජ ප්‍රතිසංස්‌කරණ සංගමය" නමින් ආරම්භ කළ සංවිධානයේ ආරම්භක සභාපති ලෙස කටයුතු කරමින් ඉමහත් සේවාවක්‌ද ඉටු කර ඇත. ඔහු විසින් රචිත "උඩරට ප්‍රධානීන්ට කරනු ලබන විවෘත ආයාචනයක්‌" නමැති ශාස්‌ත්‍රීය රචනාව අප රට වැසියන් නින්දෙන් අවදි කරලීම සඳහා වාදනය කළ දවුල් හඬක්‌ මෙන් විය.

හසල පාණ්‌ඩිත්‍යයකින් හෙබි එතුමා භූ විද්‍යාව, වාග් විද්‍යාව ද ඇතුළු විෂයයන් රාශියක්‌ පිළිබඳ ශාස්‌ත්‍රීය ග්‍රන්ථ රැසක්‌ ම ලියා ඇත. විවිධ සංස්‌කෘතීන්හි සාහිත්‍ය, චිත්‍ර කලාව සහ සංගීතය පිළිබඳ පර්යේෂණ කෘති ද ඒ අතර විය. දුරාතීතයේ සිටම දාර්ශනිකයන්ගේ සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ අවධානයට යොමුවෙමින් පැවැති අධ්‍යාත්ම විද්‍යාමය ගැටලු පිළිබඳව ද ඔහු නිරතව සිටියේය. ඔහුගේ ශාස්‌ත්‍රීය හා පර්යේෂණ රචනාවලින් බොහොමයක්‌ අපරදිග රටවල ඉංගී්‍රසි, ප්‍රංශ, ස්‌පාඤ්ඤ වැනි භාෂා ඇතුළුව වෙනත් යුරෝපීය භාෂාවලින් ද පළ වී ඇත. 1978 වර්ෂයේදී සම්පාදනය කරන ලද ග්‍රන්ථ නාමාවලියක්‌ අනුව ආනන්ද කුමාරස්‌වාමි මහතා විසින් ප්‍රකාශිත පර්යේෂණ හා ශාස්‌ත්‍රීය ලිපි සංඛ්‍යාව 650 ඉක්‌මවා ඇත. ඔහු විසින් ග්‍රන්ථ සමාලෝචන රැසක්‌ද ලියා ඇත. පිටපත් දශ ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක්‌ අලෙවි වූ "බුද්ධාගම" නමින් ග්‍රන්ථයක්‌ 1951 දී පළ කර ශ්‍රී ලාංකික බෞද්ධයන් අතර ද ජනප්‍රිය වූ බ්‍රිතාන්‍ය ජාතික විනිශ්චයකරුවකු වූ ක්‍රිස්‌මස්‌ හම්ප්‍රීස්‌ 17 වැනි වියේදී ආනන්ද කුමාරස්‌වාමි මහතා විසින් පළ කරන ලද "බුදුන් සහ බුද්ධාගමේ ශුභාරංචිය" නමැති ග්‍රන්ථය මිලදී ගෙන හදාරා ඇති අතර බුද්ධාගම පිළිබඳව එතෙක්‌ පළ වී ඇති උසස්‌ම ග්‍රන්ථය ලෙස එය ඔහු හඳුන්වා ඇත. පසුකලෙක තමන්ට බුද්ධාගම වැළඳ ගැනීමට හේතු වූයේ එම ග්‍රන්ථය බවත් ඔහු සඳහන් කර ඇත. 

ඉංගී්‍රසි භාෂාවෙන් පළ කර ඇති සුප්‍රසිද්ධ ශබ්ද කෝෂයක්‌ වන ජාත්‍යන්තර වෙබ්ස්‌ටර් ශබ්දකෝෂයේ කතුවරයකු ලෙසද සේවය කළ කුමාරස්‌වාමි මහතා 1947 වර්ෂයේදී විශ්‍රාම යනතුරු අවුරුදු තිහක්‌ම ඇමෙරිකා එක්‌සත් ජනපදයේ බොස්‌ටන්හි පිහිටි සුප්‍රසිද්ධ ලලිත කලා කෞතුකාගාරයේ පර්යේෂණ අධ්‍යක්‍ෂවරයකු ලෙස සේවය කළේය. විශ්‍රාම යැමෙන් සති තුනකට පමණ පසු 1947 සැප්තැම්බර් 09 වැනි දින කුමාරස්‌වාමි මහතා අභාවප්‍රාප්ත විය. කුමාරස්‌වාමි මහතා මිය ගොස්‌ අවුරුදු තිහකට පසු ඔහුගේ ජන්ම සත සංවත්සරය සැමරීම සඳහා ඇමරිකා එක්‌සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ඉන්දියාව සහ මැලේසියාව යන රටවල විද්වත් සම්මන්ත්‍රණ පවත්වනු ලැබූ අතර කුමාරස්‌වාමි මහතාගේ ඇතැම් රචනා වෙළුම් දෙකකින් යුතුව "තෝරාගත් ලිපි" යනුවෙන් ඇමරිකා එක්‌සත් ජනපදයේ ප්‍රින්ස්‌ටන් විශ්වවිද්‍යාලය විසින් පළ කරන ලදී. බ්‍රිතාන්‍යයේ "ටයිම්ස්‌ ඔෆ් ලන්ඩන්" නමැති සුප්‍රසිද්ධ පුවත්පතෙහි ද එම ග්‍රන්ථය පිළිබඳ විවේචනයක්‌ පළ වූ අතර, එහි කුමාරස්‌වාමි මහතා හඳුන්වා තිබෙනුයේ විසිවන සියවසෙහි පහළ වූ ඉතාම අග්‍රගන්‍ය චින්තකයකු ලෙසය. ලොව පුරා උගතුන් මෙම ශ්‍රී ලාංකිකයාට එලෙස පූජෝපහාර දැක්‌වූ අතර ඔහුගේ මව්රට වූ ශ්‍රී ලංකාවට කළ හැකි වූයේ කොළඹ "ගී්‍රන්පාත්" නමැති වීදිය ආනන්ද කුමාරස්‌වාමි මාවත යනුවෙන් නම් කිරීම පමණි.

මෑතකදී විවෘත වූ විශිෂ්ටතම ජාතික රඟහල වටා පොළොන්නරු යුගයේදී නිර්මාණය කරන ලද නෙළුම් පොකුණ අනුව ඉදිකර ඇති කවාකාර රාමුව පදනම් කරගෙන ජාතික රඟහල "නෙළුම් පොකුණ" ලෙස නම් කරනු ලැබ ඇති අතර ඒ අසලින් දිවෙන ආනන්ද කුමාරස්‌වාමි මාවත, නෙළුම් පොකුණ මාවත" යනුවෙන් නම් කර ඇත. විශ්ව කීර්තියට පත්ව ශාස්‌ත්‍රීය ලෝකයේ ශ්‍රී ලංකාවට අති ගෞරවනීය නාමයක්‌ ලබාදීමට හැකි වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වූ ආනන්ද කුමාරස්‌වාමි මහතා අනුස්‌මරණය කිරීමට ඉදිව තිබූ එකම ස්‌මාරකය ඉවත් කිරීමේ කනගාටුදායක සිද්ධියට ජනවාර්ගික මුහුණුවරක්‌ ජාත්‍යන්තර ලෝකයෙහි දීමට ජාති විරෝධී කණ්‌ඩායම්වලට ද කදිම අවස්‌ථාවක්‌ එබැවින් උදා වී ඇත. එමඟින් මේ පිළිබඳව ක්‍රියා කළ හැකි සියලුම බලධාරීන්ගේ කාරුණික අවධානය සඳහා පහත සඳහන් ඉල්ලීම කරමි.

අලුතින් නම් කර ඇති නෙළුම් පොකුණ මාවත, මාකස්‌ ප්‍රනාන්දු මාවත සහ සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මාවතින් වට වූ බිම් පෙදෙස කොළඹ නගරයේ සංස්‌කෘතික ත්‍රිකෝණයක්‌ ලෙස වර්ධනය වී ඇතැයි කිව හැක. අපේ ශ්‍රෝෂ්ඨ සංස්‌කෘතික උරුමයේ අගනාතම භාණ්‌ඩ රැස්‌ කර ඇති ජාතික කෞතුකාගාරය, ජාතික ස්‌වාභාවික විද්‍යා කෞතුකාගාරය, ජෝන් ද සිල්වා සමරු රඟහල, කලාභවන, මහවැලි කේන්ද්‍රය, රාජකීය ආසියාතික සංගමය මෙන්ම ජාතික රඟහල ද පිහිටා තිබෙනුයේ මෙම භූමි භාගයෙහිය. එබැවින් ආනන්ද කුමාරස්‌වාමි මහතා අනුස්‌මරණය කිරීම සඳහා මුල් පියවරක්‌ වශයෙන් මෙම බිම් පෙදෙස ආනන්ද කුමාරස්‌වාමි චතුරස්‍රය යනුවෙන් නම් කරන මෙන් යෝජනා කරමි. ඒ සඳහා ඉතාම උචිත අවස්‌ථාවක්‌ තව නොබෝ දිනකින් උදා වේ. එනම් අපේ රටේ ජාතික දිනය වන පෙබරවාරි මස 04 වැනි දින ය. 

No comments:

Post a Comment