Popular Posts

Thursday, February 9, 2012

ආනන්ද කුමාරස්‌වාමි මහතා

මෙරට විසූ ඉතාම කීර්තිමත් හින්දු පවුලකට දාව ඔහු උපත ලැබුවේ 1877 වර්ෂයේ අගෝස්‌තු මස 12 දිනය. ඔහුගේ පියා වූයේ මහා බ්‍රිතාන්‍යයේ අධිකරණයෙහි නීතිඥයකු ලෙස කටයුතු කිරීමට වරම් ලැබූ ක්‍රිස්‌තියානි - නොවන ප්‍රථම ආසියාතික වූද වික්‌ටෝරියා රැජින වෙතින් නයිට්‌ පදවියකින් සම්මාන ලැබූ ප්‍රථම ආසියාතිකයා වූ ශ්‍රීමත් මුතුකුමාරස්‌වාමි මහතාය. ලංකා ව්‍යවස්‌ථාදායක සභාවේ ප්‍රථම දෙමළ ජාතික මන්ත්‍රීවරයාද වූ ඔහු පාලි භාෂාවෙන් රචිත සුත්ත නිපාතය, ධාතු වංශය වැනි වැදගත් බෞද්ධ ග්‍රන්ථ මෙන්ම දෙමළ බසින් රචිත හින්දු ආගමික පොත් ද ඉංගී්‍රසි බසට පෙරලූ උගතෙකු ද විය. ආනන්ද කුමාරස්‌වාමි මහතා අප රට නිදහස්‌ සටනෙහිදී පුරෝගාමීව කටයුතු කළ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් සහ ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් ගේ ඥති පුත්‍රයකු ද විය. වයස අවුරුදු දෙකේදී ඔහුගේ පියා අකාලයේ මිය ගිය පසු, සිය මව විසින් ඔහු එංගලන්තයට කැටුව ගොස්‌ ඔහුට එහි අධ්‍යාපනය ලබා දෙන ලදී. එහිදී උසස්‌ අධ්‍යාපනය ද ලැබූ කුමාරස්‌වාමිමහතා ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක්‌ද ලබා ගත් අතර ලංකාවට පෙරළාපැමිණීමට පෙර වාග් විද්‍යාව පිළිබඳ පාඨමාලාවක්‌ ද හැදෑරීය. 

1966 වර්ෂයේ දී ඔහු මෙරට ඛනිජ විද්‍යාමය ගවේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ වශයෙන් පත් වූයේ විසිනව වැනි වියේ සිටියදීය. එම තනතුරෙහි 1909 වර්ෂය තෙක්‌ සේවය කිරීමේදී රටෙහි විවිධ පළාත්වල ගවේෂණ කටයුතුවල යෙදීමට සිදුවූ අතර ලංකාවට ආවේණික වූ "තෝරියනයිට්‌" වැනි ඛනිජ වර්ග හඳුනා ගැනීමට අමතරව ලංකාවේ චිත්‍ර කලා හා කලා ශිල්ප පිළිබඳ වැදගත් සාධක තොරතුරු එක්‌රැස්‌ කිරීමට ද කුමාරස්‌වාමි මහතා අමතක නොකළේය. ඒවායේ ප්‍රතිඵලය වූයේ "මධ්‍යකාලීන සිංහල කලා ශිල්ප" යන මාහැඟි පර්යේෂණ ග්‍රන්ථය 1968 වර්ෂය වනවිට බිහි කිරීමට හැකි වීමය. එම ග්‍රන්ථය ඔහු විසින් පළ කරන්නට යෙදුන සම්භාවනීය ග්‍රන්ථ පෙළක පළමුවැන්න විය. අපට උරුම වූ අගනා දේශීය සංස්‌කෘතියෙහි විශිෂ්ට සංකේත වූ අපගේ පාරම්පරික කලා ශිල්පවලට යටත් විජිතවාදී පාලනයෙන් සිදුවෙමින් පැවති දැඩි හානිය ගැන ඉමහත් වේදනාවෙන් පසු වූ ඔහු එම පරිහානිය වළක්‌වාලීම සඳහා "සමාජ ප්‍රතිසංස්‌කරණ සංගමය" නමින් ආරම්භ කළ සංවිධානයේ ආරම්භක සභාපති ලෙස කටයුතු කරමින් ඉමහත් සේවාවක්‌ද ඉටු කර ඇත. ඔහු විසින් රචිත "උඩරට ප්‍රධානීන්ට කරනු ලබන විවෘත ආයාචනයක්‌" නමැති ශාස්‌ත්‍රීය රචනාව අප රට වැසියන් නින්දෙන් අවදි කරලීම සඳහා වාදනය කළ දවුල් හඬක්‌ මෙන් විය.

හසල පාණ්‌ඩිත්‍යයකින් හෙබි එතුමා භූ විද්‍යාව, වාග් විද්‍යාව ද ඇතුළු විෂයයන් රාශියක්‌ පිළිබඳ ශාස්‌ත්‍රීය ග්‍රන්ථ රැසක්‌ ම ලියා ඇත. විවිධ සංස්‌කෘතීන්හි සාහිත්‍ය, චිත්‍ර කලාව සහ සංගීතය පිළිබඳ පර්යේෂණ කෘති ද ඒ අතර විය. දුරාතීතයේ සිටම දාර්ශනිකයන්ගේ සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ අවධානයට යොමුවෙමින් පැවැති අධ්‍යාත්ම විද්‍යාමය ගැටලු පිළිබඳව ද ඔහු නිරතව සිටියේය. ඔහුගේ ශාස්‌ත්‍රීය හා පර්යේෂණ රචනාවලින් බොහොමයක්‌ අපරදිග රටවල ඉංගී්‍රසි, ප්‍රංශ, ස්‌පාඤ්ඤ වැනි භාෂා ඇතුළුව වෙනත් යුරෝපීය භාෂාවලින් ද පළ වී ඇත. 1978 වර්ෂයේදී සම්පාදනය කරන ලද ග්‍රන්ථ නාමාවලියක්‌ අනුව ආනන්ද කුමාරස්‌වාමි මහතා විසින් ප්‍රකාශිත පර්යේෂණ හා ශාස්‌ත්‍රීය ලිපි සංඛ්‍යාව 650 ඉක්‌මවා ඇත. ඔහු විසින් ග්‍රන්ථ සමාලෝචන රැසක්‌ද ලියා ඇත. පිටපත් දශ ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක්‌ අලෙවි වූ "බුද්ධාගම" නමින් ග්‍රන්ථයක්‌ 1951 දී පළ කර ශ්‍රී ලාංකික බෞද්ධයන් අතර ද ජනප්‍රිය වූ බ්‍රිතාන්‍ය ජාතික විනිශ්චයකරුවකු වූ ක්‍රිස්‌මස්‌ හම්ප්‍රීස්‌ 17 වැනි වියේදී ආනන්ද කුමාරස්‌වාමි මහතා විසින් පළ කරන ලද "බුදුන් සහ බුද්ධාගමේ ශුභාරංචිය" නමැති ග්‍රන්ථය මිලදී ගෙන හදාරා ඇති අතර බුද්ධාගම පිළිබඳව එතෙක්‌ පළ වී ඇති උසස්‌ම ග්‍රන්ථය ලෙස එය ඔහු හඳුන්වා ඇත. පසුකලෙක තමන්ට බුද්ධාගම වැළඳ ගැනීමට හේතු වූයේ එම ග්‍රන්ථය බවත් ඔහු සඳහන් කර ඇත. 

ඉංගී්‍රසි භාෂාවෙන් පළ කර ඇති සුප්‍රසිද්ධ ශබ්ද කෝෂයක්‌ වන ජාත්‍යන්තර වෙබ්ස්‌ටර් ශබ්දකෝෂයේ කතුවරයකු ලෙසද සේවය කළ කුමාරස්‌වාමි මහතා 1947 වර්ෂයේදී විශ්‍රාම යනතුරු අවුරුදු තිහක්‌ම ඇමෙරිකා එක්‌සත් ජනපදයේ බොස්‌ටන්හි පිහිටි සුප්‍රසිද්ධ ලලිත කලා කෞතුකාගාරයේ පර්යේෂණ අධ්‍යක්‍ෂවරයකු ලෙස සේවය කළේය. විශ්‍රාම යැමෙන් සති තුනකට පමණ පසු 1947 සැප්තැම්බර් 09 වැනි දින කුමාරස්‌වාමි මහතා අභාවප්‍රාප්ත විය. කුමාරස්‌වාමි මහතා මිය ගොස්‌ අවුරුදු තිහකට පසු ඔහුගේ ජන්ම සත සංවත්සරය සැමරීම සඳහා ඇමරිකා එක්‌සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ඉන්දියාව සහ මැලේසියාව යන රටවල විද්වත් සම්මන්ත්‍රණ පවත්වනු ලැබූ අතර කුමාරස්‌වාමි මහතාගේ ඇතැම් රචනා වෙළුම් දෙකකින් යුතුව "තෝරාගත් ලිපි" යනුවෙන් ඇමරිකා එක්‌සත් ජනපදයේ ප්‍රින්ස්‌ටන් විශ්වවිද්‍යාලය විසින් පළ කරන ලදී. බ්‍රිතාන්‍යයේ "ටයිම්ස්‌ ඔෆ් ලන්ඩන්" නමැති සුප්‍රසිද්ධ පුවත්පතෙහි ද එම ග්‍රන්ථය පිළිබඳ විවේචනයක්‌ පළ වූ අතර, එහි කුමාරස්‌වාමි මහතා හඳුන්වා තිබෙනුයේ විසිවන සියවසෙහි පහළ වූ ඉතාම අග්‍රගන්‍ය චින්තකයකු ලෙසය. ලොව පුරා උගතුන් මෙම ශ්‍රී ලාංකිකයාට එලෙස පූජෝපහාර දැක්‌වූ අතර ඔහුගේ මව්රට වූ ශ්‍රී ලංකාවට කළ හැකි වූයේ කොළඹ "ගී්‍රන්පාත්" නමැති වීදිය ආනන්ද කුමාරස්‌වාමි මාවත යනුවෙන් නම් කිරීම පමණි.

මෑතකදී විවෘත වූ විශිෂ්ටතම ජාතික රඟහල වටා පොළොන්නරු යුගයේදී නිර්මාණය කරන ලද නෙළුම් පොකුණ අනුව ඉදිකර ඇති කවාකාර රාමුව පදනම් කරගෙන ජාතික රඟහල "නෙළුම් පොකුණ" ලෙස නම් කරනු ලැබ ඇති අතර ඒ අසලින් දිවෙන ආනන්ද කුමාරස්‌වාමි මාවත, නෙළුම් පොකුණ මාවත" යනුවෙන් නම් කර ඇත. විශ්ව කීර්තියට පත්ව ශාස්‌ත්‍රීය ලෝකයේ ශ්‍රී ලංකාවට අති ගෞරවනීය නාමයක්‌ ලබාදීමට හැකි වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වූ ආනන්ද කුමාරස්‌වාමි මහතා අනුස්‌මරණය කිරීමට ඉදිව තිබූ එකම ස්‌මාරකය ඉවත් කිරීමේ කනගාටුදායක සිද්ධියට ජනවාර්ගික මුහුණුවරක්‌ ජාත්‍යන්තර ලෝකයෙහි දීමට ජාති විරෝධී කණ්‌ඩායම්වලට ද කදිම අවස්‌ථාවක්‌ එබැවින් උදා වී ඇත. එමඟින් මේ පිළිබඳව ක්‍රියා කළ හැකි සියලුම බලධාරීන්ගේ කාරුණික අවධානය සඳහා පහත සඳහන් ඉල්ලීම කරමි.

අලුතින් නම් කර ඇති නෙළුම් පොකුණ මාවත, මාකස්‌ ප්‍රනාන්දු මාවත සහ සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මාවතින් වට වූ බිම් පෙදෙස කොළඹ නගරයේ සංස්‌කෘතික ත්‍රිකෝණයක්‌ ලෙස වර්ධනය වී ඇතැයි කිව හැක. අපේ ශ්‍රෝෂ්ඨ සංස්‌කෘතික උරුමයේ අගනාතම භාණ්‌ඩ රැස්‌ කර ඇති ජාතික කෞතුකාගාරය, ජාතික ස්‌වාභාවික විද්‍යා කෞතුකාගාරය, ජෝන් ද සිල්වා සමරු රඟහල, කලාභවන, මහවැලි කේන්ද්‍රය, රාජකීය ආසියාතික සංගමය මෙන්ම ජාතික රඟහල ද පිහිටා තිබෙනුයේ මෙම භූමි භාගයෙහිය. එබැවින් ආනන්ද කුමාරස්‌වාමි මහතා අනුස්‌මරණය කිරීම සඳහා මුල් පියවරක්‌ වශයෙන් මෙම බිම් පෙදෙස ආනන්ද කුමාරස්‌වාමි චතුරස්‍රය යනුවෙන් නම් කරන මෙන් යෝජනා කරමි. ඒ සඳහා ඉතාම උචිත අවස්‌ථාවක්‌ තව නොබෝ දිනකින් උදා වේ. එනම් අපේ රටේ ජාතික දිනය වන පෙබරවාරි මස 04 වැනි දින ය. 

Wednesday, February 8, 2012

නූතන ඉදිකිරීම් ශාස්‌ත්‍රයට අභියෝගයක්‌ වූ ඡේතවන දාගැබ

නූතන ඉදිකිරීම් ශාස්‌ත්‍රයට අභියෝගයක්‌ වූ ඡේතවන දාගැබ

ශ්‍රී ලංකාවේ ස්‌ථූප හෙවත් දාගැබ් නිර්මාණය පිළිබඳව විමසීමේ දී පැහැදිලි වන එක්‌ ප්‍රධාන කරුණක්‌ නම් ගණිතය මෙන්ම මිණිතය ද ඉතා ම නිවැරැදිව පැරැණි නිර්මාණකරුවන් භාවිත කළ බව ය. මේ බැව් සක්‌සුදක්‌ සේ පැහැදිලි වන්නේ අභයගිරිය, ඡේතවනාරාමය, රුවන්වැලි සෑය වැනි මහා ස්‌ථූප වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ වල් වැදී තිබුණත් ඒවා හැඩයේ වෙනස්‌ වීමකට හෝ මහා පරිමාණ ගරා වැටීමකට හෝ ලක්‌ නො වීමෙනි.

මේ ස්‌ථූප ඉදි කිරීමේ දී භාවිත කළ තාක්‍ෂණ ක්‍රමවේද මොනවා ද?, අදටත් එය රහසක්‌ ව පවතින්නේ ඇයි ද යන්න පිළිබඳව මෙරට ප්‍රධාන පෙළේ පර්යේෂණ ඉංජිනේරුවරුන් තිදෙනකු විසින් මෑතක දී Sඅධ්‍යයනයක්‌ සිදු කරන ලදි. ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්‌ථානයේ යාන්ත්‍රික ඉංජිනේරු, පර්යේෂණ විද්‍යාර්ථී කපිල පීරිස්‌, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යංශයේ වරලත් සිවිල් ඉංජිනේරු සංජීව විඡේසිංහ සහ බැල්µa බීම් ඉංජිනේරු සේවා ආයතනයේ වරලත් ඉංජිනේරු චන්දන ජයවර්ධන එම විද්වතුන් ත්‍රිත්වයයි. ඔවුන් මේ මහා ස්‌ථූපය පිළිබඳව කළ විද්‍යාත්මක පර්යේෂණයකින් ලත් ප්‍රතිඵලවලට අනුව මෙය ඉදි කළ විද්‍යා හා තාක්‍ෂණ ක්‍රමවේදය පිළිබඳව සොයාගෙන ඇති තොරතුරු අද සතියේ විමසුමින් ඔබ හමුවේ තබමු.

මහා විහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ ඇති වූ දෙවැනි නිකාය වන්නේ අභයගිරියයි. අභයගිරියෙන් පසු තුන්වැනි නිකායක්‌ බිහි වෙයි. ඒ ඡේතවන නිකායයි. මේ සියල්ල ම බෞද්ධ නිකායෝ වෙති.

මහසෙන් රජතුමා විසින් භික්‌ෂු විනය පිළිබඳව ඉදිරිපත් කරන ලද විවිධ අදහස්‌ පිළිගැනීමට මහා විහාරය අකැමැති වූ හෙයින් මහසෙන් රජතුමා අභයගිරියේ පාර්ශ්වයට පැමිණ මහා විහාරයට විරුද්ධව කටයුතු කළේ ය. මෙයින් ලද ප්‍රතිඵලය වූයේ රජතුමා පරාජයට පත් වීම ය. ඉන්පසු එතුමා විසින් ඡේතවන නම් විහාර ස්‌ථූපය කරවා දක්‌ෂිණ විහාරයේ වැඩ සිටි සාගලික භික්‍ෂූන්ට පූජා කරන ලදී. ඡේතවන විහාරය භාරගත් තිස්‌ස තෙරුන් මහා විහාරවාසීන් විසින් පලවා හරින ලදී. සිද්ධිය එසේ වුවත් ඡේතවන භූමියෙන් හමු වූ සෙල් ලිපියක සඳහන් වන්නේ උන්වහන්සේ සිල්වත් හිමි නමක්‌ බවයි. 

මහා වංශයේ සඳහන් වන්නේ මහසෙන් රජතුමා ජොතිවන නම් භූමි භාගයේ ජෙතවනාරාමය කරවූ බවයි. ශිලා ලේඛනවලත් පොත්පත්වලත් මේ මහා විහාරය හා නිකාය දෙනාවෙහෙර හෙවත් දෙනානකය යන නම්වලින් හඳුන්වා ඇත. ඡේතවනයෙන් ඇරඹුණු නිකාය සාගලික නිකාය යනුවෙන් හැඳින්වෙයි. (මහාචාර්ය ටී. ජී. කුලතුංග, අනුරාධපුර අටමස්‌ථාන, පිටුව 41)

මහසෙන් රජතුමා ගෙන් පසු මහ පැරකුම්බා රජු දක්‌වා සිටි සැම පාලකයකු ම ඡේතවන ස්‌ථූපයේ සංවර්ධන කටයුතු සඳහා සහයෝගය දී තිබේ. ක්‍රි.ව. 1215 දී රජරට මාඝට අයත් වීමෙන් පසු අනුරාධපුරයේ අනෙකුත් ආරාම මෙන්ම ඡේතවනාරාමය ද පරිහානියට පත් විය. වන වැදී තිබුණු ස්‌ථූපය ක්‍රි.ව. 1829 දී එක්‌තරා භික්‌ෂුවක විසින් එළි පෙහෙළි කරන ලද බැව් ද සඳහන් වෙයි. ක්‍රි.ව. 1832 දී මේජර් ස්‌කිනර් නම් ඉංග්‍රිසි ජාතිකයා විසින් අඳින ලද ඡේතවන ස්‌ථූපයේ දළ සැලැස්‌මට අනුව එහි උස අඩි 244ක්‌ බැව් සඳහන් ය.
කෙසේ වෙතත් ක්‍රි.ව. 275-300 වැනි කාල සීමාවක දී ඉදි කළ බවට පිළිගැනෙන ඡේතවනාරාම ස්‌ථූපය අද දක්‌වා වූ වර්ෂ 1737ක්‌ වැනි දිගු කලක්‌ නො නැසී පැවතීමට හේතු වූ තාක්‌ෂණය කුමක්‌ ද? එතරම් දුරාතීත කාලයක දී මෙරට රජ දරුවන් හා දේශීය විද්වතුන් සතු වූ විද්‍යාත්මක දැනුම, ගණිත ඥානය මෙන්ම කායික හා මානසික ශක්‌තිය කෙබඳු දැයි විමසිය යුතු ව ඇත.


වඩු රියන


අතීතයේ දී නිවාස, ගොඩනැඟිලි, වෙහෙර විහාර, ස්‌ථූප යනාදිය ඉදි කිරීමේ දී වර්තමානයට වඩා සංකීර්ණ ශිල්ප ක්‍රම භාවිත කළ බැව් පෙනී යයි. පැරැණි වාස්‌තු විද්‍යාඥයන් ගේ වාස්‌තු විද්‍යාවට ගෙබිම ශාස්‌ත්‍රය මෙන්ම ජ්‍යෙdතිෂය පිළිබඳ දැනුම ද අයත් විය. මෙහි දී ගෙබිම ශාස්‌ත්‍රයටත් වඩා වාස්‌තු ගණිතයට මුල් තැනක්‌ ලැබිණි. වර්තමානයේ වාස්‌තු විද්‍යාත්මක කටයුතුවල දී ලබාගන්නා මිනුම්වලට වඩා වෙනස්‌ වූ මිනුම් අතීතයේ දී භාවිත කළ බැව් පෙනේ. පැරැන්නන් කළ මිනුම් කටයුතුවල දී ප්‍රධාන මිනුමක්‌ ලෙස වඩු රියන භාවිත කර ඇත. හොඳින් වැඩුණු මිනිසකු ගේ අත හා ඇඟිලි මුල් කරගෙන වඩු රියන උපත ලබා ඇත. මේ කවියෙන් වඩු රියන කුමක්‌ ද යන්න පැහැදිලි වෙයි.



යහපත් ලෙස සිඳගත් මඟුල් කප ගෙන

මනින වඩු රියන මෙලෙසින් ම ගනුහැඳින

දකුණේ එක්‌ රියන් වියතක්‌ සිවඟුලෙන

මෙලෙස වඩු රියන මැනගනු වඩු විසින



මේ කවියෙන් පරම්පරාගත වඩුවකු ගේ දකුණු අතින් එක්‌ රියනකුත් වියත් එකක්‌ හා සිව් අඟුලක්‌ වඩු රියන ලෙස සඳහන් වෙයි. මෙහි දී දකුණු අතේ වැලමිටේ සිට මැදැඟිල්ල දක්‌වා වූ දිග රියනක්‌ ද, අත්ල දිග හැරිය විට සුළැඟිල්ලේ කෙළවර සිට මාපටඟිල්ලේ කෙළවර දක්‌වා වූ දිග වියත යනුවෙන් ද හැඳින්වෙයි. සිවඟුල යනු ඇඟිලි පුරුක්‌ 4ක දිගට සමාන විය. මේ සියලු දිග ප්‍රමාණ එක්‌ කළ විට වඩු රියන නම් විය.

තවත් වඩු පරම්පරාවක වඩු රියන පිළිබඳව තිබුණු චක්‍රයක්‌ මෙසේ ය.

යව ඇට අට අඟල් 1යි

අඟල් 12 වියත් 1යි

වියත් 2 රියන් 1යි

මේ චක්‍රයට අනුව අඟල් 24ක්‌ වඩු රියනට සමාන වී ඇත.

මහනුවර විසූ ගොඩපොල ගන්ලන්දා නම් වඩුවකු සතු වූ වඩු රියන මෙසේ වෙයි. ඔහු ගේ වඩු රියනේ අඟල් 1ක්‌ අද අප භාවිත කරන ඉංග්‍රීසි අඟල් 1 7/24කට සමාන වී ඇත. ඒ අනුව ඔහු ගේ වඩු රියයනට අඟල් 31ක්‌ අයත් විය. (අපේ පැරැණි නිර්මාණ තුළ ගැබ් වූ විද්‍යා තාක්‍ෂණ දැනුම, අමල් උඩවත්ත, විදුරාව සඟරාව 1997- පිටුව 12-13)

මේ අනුව වඩු රියන කිසියම් ගුරුකුලයකට අනුව හෝ ශිල්පයකට අනුව හෝ වෙනස්‌ වූ බවක්‌ දක්‌නට ලැබේ. ඒ අනුව අනුරාධපුර යුගයේ දී භාවිත කළ වාස්‌තු විද්‍යාව අනුව හෝ ඒ ඒ ශිල්පියා ගේ ගුරුකුලවලට හෝ ශිල්පියා ගේ දැනුමට අනුව හෝ වඩු රියනේ දිග වෙනස්‌ වන්නට ඇත.

ඡේතවන මහා ස්‌ථූපය පිළිබඳව කළ පර්යේෂණයේ දී අනුමාන කරන වඩු රියන අඟල් 30කි. එසේ නම් මේ වඩු රියනේ දිග ගොඩපොල ගන්ලන්දා ගේ අඟල් 31 වඩු රියනට බෙහෙවින් සමාන වීමකි.

මේ අධ්‍යයනය පිළිබඳව ඉංඡ්නේරු සංජීව විඡේසිංහ මහතා අදහස්‌ දැක්‌වූයේ මේ අයුරිනි.

මහසෙන් රජතුමා ඉදි කළ ඡේතවන ස්‌ථූපය දැනට ලොව විශාල ම ස්‌ථූපය ලෙසයි හැඳින්වෙන්නේ. එය ඉදි කරන අවධියේ ලෝකයේ තුන්වැනි විශාල ම ඉදි කිරීම වෙනවා. මහාවංශයේ සඳහන් වන ආකාරයට මෙහි උස වඩු රියන් 160ක්‌. වඩු රියන අඟල් 30ක්‌ දිග යෑයි සිතුවොත්

ඡේතවන ස්‌ථූපයේ උස අඩි 400ක්‌ විය යුතුයි. එහෙත් අද මුදුනේ කොටසක්‌ දක්‌නට ලැබෙන්නේ නෑ. කඩා වැටිලා. ඒ අනුව ඉතිරි වී තිබෙන උස ඒ කියන්නේ සලපතල මළුවේ සිට කොතේ කැඩුණු තැන දක්‌වා උස අඩි 252ක්‌. මෙහි විෂ්කම්භය සලපතල මළුවේ මට්‌ටමේ දී අඩි 370ක්‌ හෙවත් මීටර් 113ක්‌ වෙනවා.

බොහෝ දෙනා ගේ අදහස වුණේ මේ දාගැබ ගඩොල්වලින් හදපු එකක්‌ කියන එක. ඇත්ත වශයෙන් ම මෙය ගඩොල්වලින් හදපු එකක්‌ කියල ම කියන්න බැහැ. ඒ වගේ ම ගඩොල්වලින් පිටත කවචය බැඳල ඇතුළත පස්‌වලින් පුරවපු ව්‍යqහයක්‌ ද නො වෙයි. පුරාවිද්‍යාත්මක කැණීම්වලින් හා පර්යේෂණවලින් ලබාගත් කරුණුවලට අනුව මේ නිර්මාණයේ තිබෙන සුවිශේෂී ලක්‌ෂණය තමයි මෙහි ගර්භය හෙවත් ඇතුළත ව්‍යqහය ගඩොල් පස්‌ හා ගඩොල් කැබැලි, බාගෙට පුළුස්‌සපු ගඩොල් හෙවත් දඹු ගඩොල් යනාදී සැම දෙයක්‌ ම විවිධාකාරයෙන් 
කලාප වශයෙන් පෙළ ගස්‌වා නිර්මාණය කර තිබීම.


අත්තිවාරම 


සලපතල මළුවේ සිට අඩි 23-29ක්‌ දක්‌වා වූ ගැඹුරකින් පිහිටි ගලේ (ඉed රදජන) සිට ඡේතවන ස්‌ථූපයේ අත්තිවාරම ඉදි කර ඇත. මේ සඳහා මැනැවින් පුළුස්‌සන ලද ගඩොල් භාවිත කර ඇත. මේ ගඩොල් පැතලි, ශක්‌තිමත් විවිධ දිග හා පළලින් යුක්‌ත වෙයි. ගන්නා ලද මිනුම්වලට අනුව ගඩොල්වල දිග පළල හා ඝනකම පිළිවෙළින් සෙ.මි. 46දූ24දූ5, සෙ.මී. 43දූ24දූ5 සහ සෙ.මී. 38දූ20දූ5 යනාදි වශයෙන් වෙනස්‌ වෙයි.

අඩි 23 සිට 29 දක්‌වා ගැඹුරකින් පිහිටි ගලේ සමතලා නො වන තැන් සමතලා කිරීම සඳහා ශක්‌තිමත් මැටි වර්ගයක්‌ භාවිත කර ඇත. මෙහි පාදම හෙවත් අත්තිවාරම අදියර දෙකකින් ඉදි කර ඇත. මෙහි පළමු ඉදි කිරීම පිහිටි ගලෙන් (ඉed රදජන) ආරම්භ කර මීටර් 1.7ත් 2.7ත් අතර උසට එකල පිහිටි බිම් මට්‌ටම දක්‌වා රවුම් හැඩයට ඉදි කර ඇති අතර දෙවැනි අදියර පළමු අදියරේ පිටත දාරයේ සිට මීටර් 2.05ක්‌ දක්‌වා ඇතුළට වන්නට පටන්ගෙන සලපතල මළුව මට්‌ටම දක්‌වා තවත් මීටර් 3.8ක්‌ උසට ඉදි කර ඇත. එක ආයකයක්‌ අසල කරන ලද කැණීමේ දී ගඩොල් වරියක්‌ ඉංග්‍රීසි ඔ අකුරේ හැඩයට බැඳ ඇති අතර පස්‌ මැටි සහ කුඩා ගඩොල් කැබැලි සහිත සංයුතියකින් ඒ වටා පුරවා ඇත. මේ ගල් වරියට ඉහළින් හා පහළින් සාමාන්‍ය ගල් වරි ආකාරයට බැඳ තිබීම ද සුවිශේෂී ලක්‌ෂණයකි.

පේසාව ඉදි කිරීමේ දී රුවන්වැලි සෑය සහ අභයගිරි ස්‌ථූපය වැනි ස්‌ථූපවල පේසාව ඉදි කිරීමේ දී භාවිත කළ ක්‍රමවේදයට වඩා වෙනස්‌ ක්‍රමවේදයක්‌ භාවිත කර ඇත. එනම් රුවන්වැලිසෑය හා අභයගිරිය වැනි ස්‌ථූප ඉදි කිරීමේ දී ගර්භය ඉදි කිරීමෙන් පසු පේසා වළලු ඉදි කර ඇතත් ඡේතවනාරාම ස්‌ථූපය ඉදි කිරීමේ දී ගර්භයට සමගාමීව පේසා වළලු ඉදි කිරීමක්‌ දක්‌නට ලැබේ. මේ සඳහා හොඳින් පුළුස්‌සන ලද සෙ.මි. 60දූ35දූ5 ප්‍රමාණයේ ගඩොල් විශාල ප්‍රමාණයක්‌ ද, සෙ.මි 30දූ20දූ5 සහ සෙ.මි. 45දූ35දූ5 යන ප්‍රමාණවල ගඩොල් අමතරව ද භාවිත කර ඇත. පේසාව ඉදි කර ඇත්තේ අත්තිවාරමේ පිටත දාරයට මීටර් 4.5ක්‌ ඇතුළට වන්නට සලපතල මළුවේ මට්‌ටමේ සිට ඉහළට විහිදී යන පරිදි ය.


ගර්භයේ පිටත කලාපය 
ගර්භයේ පිටත කලාපය ගඩොල් භාවිත කර ඉදි කර ඇති අතර හතරැස්‌ කොටුව ආසන්නයේ ගර්භයේ මුදුනට වන්නට භාග ගඩොල් සහ කුඩා ගඩොල් කැබැලි භාවිත කර ඇත. හොඳින් පුළුස්‌සන ලද ගඩොල්වල ප්‍රමාණ වෙනස්‌ වෙයි. කරන ලද අධ්‍යයනවලින් මේ ගඩොල් සෙ.මි. 60දූ35දූ5, සෙ.මි. 43*24*45 සහ සෙ.මි. 40*20*5 යන ප්‍රමාණයන් ගෙන් යුක්‌ත වන බැව් අනාවරණය වී ඇත. මෙහි දී දක්‌නට ලැබෙන සුවිශේෂී ලක්‌ෂණය වන්නේ හොඳින් පුළුස්‌සන ලද ගඩොල් අතරට බාගෙට පුළුස්‌සන ලද දඹු ගඩොල් සහ පුළුස්‌සා නැති ගඩොල් හෙවත් මෝඩ ගඩොල් භාවිත කර තිබීම ය. සලපතල මළුව මට්‌ටමේ සිට මීටර් 21ක්‌ හෙවත් අඩි 70ක්‌ වඩා ඉහළට යන විට දඹු ගඩොල් හා මෝඩ ගඩොල් භාවිතය සැලකිය යුතු ලෙස වැඩි වී තිබේ. ගඩොල් වරි අතර මිලි මීටර් 5ත් 10ත් අතර ඝනකමක්‌ ඇති මැටි ස්‌ථරයක්‌ ගඩොල් මතුපිට තිරස්‌ අතට අතුරා ඇත. මේ මැටි ස්‌ථරය හඳුන්වා ඇත්තේ නවනීත මැට්‌ට යනුවෙනි. ගර්භයෙන් පිටත ම ස්‌ථරයට ඇතුළතින් ඊට ආසන්නයේ ඇති කලාපය, සලපතල මළුවේ සිට මීටර් 30ක්‌ ඉහළින් කරන ලද කැණීම්වලින් හඳුනා ගැනීමට හැකි වී ඇත. මේ කලාපය ඉදි කිරීම සඳහා සෙ.මි. 20*15*5 ප්‍රමාණයේ බාග ගඩොල් භාවිත කර ඇති අතර නවනීත මැට්‌ට ගඩොල් වරි අතර තිරස්‌ අතට යොදා ඇත.

පිටත ම ස්‌ථරයට ඇතුළතින් ඇති කලාපය හඳුන්වන්නේ හරස්‌ බැමි සහිත කලාපය යනුවෙනි. මෙය සලපතල මළුවේ සිට මීටර් 21.34ත් 33.5ත් අතර උසකින් සහ ගර්භයේ පිටත මායිමේ සිට මීටර 2ක්‌ ඇතුළට වන්නට පැහැදිලිව හඳුනාගනු ලැබී ය. මේ කලාපය තුළ ප්‍රධාන අංග දෙකක්‌ දක්‌නට ලැබේ. ඒ පුළුස්‌සන ලද ගඩොල් එක මත එක තබා නිශ්චිත දිශාවක්‌ හඳුනාගත නොහැකි ආකාරයට බඳින ලද බැමි සහ එම බැමි අතර ප්‍රදේශය පස්‌, මැටි, කුඩා ගඩොල් සහ දඹු ගඩොල් කැබැලිවලින් පුරවා ඇති කලාපයක්‌ වශයෙනි.

කවර හෝ ස්‌ථූපයක ගර්භය මැද කලාපය සුවිශේෂී කලාපයකි. හතරැස්‌ කොටුවේ නිරිතදිගින් කළ කැණීම්වලින් හතරැස්‌ කොටුව යටින් ගර්භය මැද පිහිටි කලාපය හඳුනා ගැනීමට හැකි වී ඇත. පස්‌ මැටි ඉතා කුඩා ගඩොල් කැබැලි ස්‌ථර වශයෙන් ක්‍රමානුකූලව අතුරා ඇති අතර ඉතා කුඩා ගඩොල් කැබැලි පස්‌ ස්‌ථරය තුළට කා වැද්දීමෙන් ගර්භයේ මැද කලාපය ගොඩනඟා ඇත.

ස්‌ථූපයකට හැඩයක්‌ හා නිමාවක්‌ ගෙන දෙන්නේ එහි හතරැස්‌ කොටුව ය. ඡේතවන ස්‌ථූපයේ හතරැස්‌ කොටුව ප්‍රමාණයෙන් දිගින් මීටර් 23.2ක්‌, පළලින් මීටර් 23.2ක්‌ හා උසින් මීටර් 11ක්‌ වෙයි. හතරැස්‌ කොටුවේ අත්තිවාරම ගර්භය මුදුනේ සිට මීටර් 1.7ක්‌ පහළින් ඉතා කුඩා ගඩොල් කැබැලි පස්‌ සහ මැටි ස්‌ථර තුළට කාවැද්දීමෙන් ඉදි කර ඇති ගර්භයේ මැද කලාපයේ මතුපිටින් ආරම්භ වෙයි.

ගඩොල් වරි 12ක්‌ භාවිත කර පිටතට පැන්නුමක්‌ සහිතව දිග හා පළල ක්‍රමයෙන් අඩු වන පරිදි මීටර් 0.76ක්‌ උසට ඉදි කළ අත්තිවාරමක එතැන් පටන් මීටර් 1ක්‌ පමණ උසට සිරස්‌ව බැඳ ඉන්පසු ගර්භයෙන් ඉහළට මීටර් 11ක්‌ උසට හතරැස්‌ කොටුව ඉදි කර ඇත. ඉන්පසු හතරැස්‌ කොටුවේ මැද ස්‌ථර බැඳීමේ දී පළමු ස්‌ථර 3-5, සාපේක්‍ෂව ලොකු ගඩොල්වලින් ද, ඉන්පසුව එන ස්‌ථර 10, 12 දක්‌වා ප්‍රමාණය ඊට වඩා කුඩා ගඩොලින් ද ස්‌ථරයෙන් ස්‌ථරය වෙනස්‌ වන ආකාරයට බැඳ තිබීම ද විශේෂ ලක්‌ෂණයකි.

පිටත කපරාරුව ස්‌ථර 3කින් සමන්විත ය. ඇතුළතින් ම පිහිටි කපරාරු ස්‌ථරය සෙ.මි. 6ත් 10ත් අතර ඝනකමකින් යුක්‌ත ය. මේ ස්‌ථරය හුණු, ගොරෝසු වැලි සහ කුඩා ගල් කැබැලිවලින් සමන්විත ය. දෙවැනි ස්‌ථරය හුණු සහ සිනිඳු වැල්ලෙන් කපරාරු කර ඇති අතර එය සෙ.මි. 3ත් 6ත් අතර ප්‍රමාණයක ඝනකමකින් යුක්‌ත ය. මතුපිටින් ම යුත් කපරාරුව හුණුවලින් පමණක්‌ කර එහි සුදු මැදීමක්‌ කර ඇති බව අනාවරණය කර ගැනීමට හැකි විය.

මේ ඉදිකිරීම් පිළිබඳව එකින් එක කරන විග්‍රහයේ දී පෙනී යන ප්‍රධාන කරුණක්‌ වන්නේ ඉපැරැණි නිර්මාණකරුවන් තමන් සතු වූ විද්‍යාත්මක තාක්‌ෂණ දැනුම ඉතා ම නිවැරැදිව සොබාදහමට අනුව භාවිත කළ බවයි. මේ හා සම්බන්ධව ඉංජිනේරු සංජීව විඡේසිංහ දරන අදහසයි මේ.

ඡේතවන දාගැබ ඉදි කර තිබෙන්නේ මල්වතු ඔය නිම්නය ආශ්‍රිතවයි. මේ ප්‍රදේශයේ අනෙක්‌ ප්‍රදේශවලට වඩා භූගත ජල මට්‌ටම ඉහළ අගයක්‌ ගන්නවා. මෙවැනි භූමියක ඉදි කළත් සොබාදහමේ ක්‍රියාකාරීත්වයට ඔරොත්තු දෙමින් විවිධ බලපෑම්වලට ලක්‌ වෙමින් මේ ආකාරයට රඳා පැවතුණේ කොහොම ද යන්න විමසා බලන්න ඕනේ. අපි කළ පර්යේෂණවලින් ඡේතවන දාගැබේ කිසිදු පිපිරීමක්‌ හෝ ගිලා බැසීමක්‌ හෝ දක්‌නට ලැබුණේ නෑ. කාලයත් සමග සිදු වුණු ක්‍ෂය වීමක්‌ පමණයි දක්‌නට ලැබෙන්නේ. පිටත බදාමය පමණක්‌ බිඳී ගිය බවක්‌ දක්‌නට ලැබෙනවා. කොත් කැරැල්ලේ කොටසක්‌ පමණක්‌ කඩා වැටිල තිබෙනවා. ඒත් කොත් කැරැල්ලේ කිසි ම ඇල වීමක්‌ දක්‌නට ලැබෙන්නේ නැහැ. මේ සියලු වෙනස්‌කම් මැදත් ව්‍යqහයේ වෙනසක්‌ වෙලා නැති බවයි කියන්න තිබෙන්නේ.
අත්තිවාරම වක්‍ර ආකාරයට හෙවත් උත්තල ආකාරයටයි නිර්මාණය කර තිබෙන්නේ. මෙහි දී භාවිත කළ ගඩොල්, ප්‍රමාණයෙන් වෙනස්‌ වෙනවා. පැතලි විශාල ගඩොල් තමයි බහුලව භාවිත කරල තිබෙන්නේ. ගඩොල් බඳින්න ඉතා තුනී මැට්‌ටක්‌ යොදාගෙන තිබෙනවා. කොපමණ තුනී දැයි කියනවා නම් මැට්‌ටක්‌ තිබෙනවා ද කියලත් සොයා ගන්න බැහැ. එක තැනක ඉංග්‍රීසි 
T අකුරේ හැඩයට තිරස්‌ අතට ගල් බැන්ද ආකාරයක්‌ දක්‌නට ලැබෙනවා. මේ ආකාර ගඩොල් බැඳීම වටා ගඩොල් කැබැලි මැටි සමග මිශ්‍ර කරල අසුරන ලද ස්‌ථරයක්‌ හමු වෙනවා. මෙයින් පසු දකින්නට ලැබෙන්නේ සාමාන්‍ය ආකාරයේ ගල් ඇතිරීමක්‌.

පේසා වළලු ඉදි කිරීමේ දීත් විශේෂ ලක්‌ෂණයක්‌ දක්‌නට ලැබෙනවා. අභයගිරිය රුවන්වැලි මහාසෑය වැනි මහා ස්‌ථූප ඉදිකිරීමේ දී ගර්භ ඉදි කිරීමෙන් පසුව පේසා වළලු ඉදි කිරීම තමයි දක්‌නට ලැබෙන්නේ. ඒත් මහා ස්‌ථූපයක්‌ වුවත්

ඡේතවන දාගැබේ දක්‌නට ලැබෙන්නේ ගර්භයත් සමග ඉදි කළ පේසා වළලු සමූහයක්‌.
බල බෙදී යැම

අතීත ශිල්පීන් දඹු ගල් භාවිත කළේ ඇයි ද යන්න විමසීමේ දී පැහැදිලි වන කරුණක්‌ නම් එය දාගැබ විසින් පහළට ඇති කරනු ලබන තෙරපුම් බල අවම කිරීමට යොදා ගත් උපක්‍රමයක්‌ බවයි.

දාගැබ ඇතුළත ව්‍යqහය ද කිසියම් ක්‍රමවේදයකට අනුව නිර්මාණය කළ බැව් දක්‌නට ලැබෙයි. මේ විද්‍යාත්මක ක්‍රමවේද පිළිබඳව ඉංජිනේරු සංජීව විඡේසිංහ මහතා දරන්නේ මෙවන් අදහසකි.

සලපතල මළුවේ සිට හතරැස්‌ කොටුව දක්‌වා උස අඩි 137ක්‌ පමණ වෙනවා. ගර්භය ගැන අධ්‍යයන කරන කොට අපිට පෙනී යන දෙයක්‌ තමයි ඡේතවන ස්‌ථුපය තනිකර ම ගඩොල්වලින් ම කර නැති බව. ගර්භය ඉදි කිරීමේ දී හොඳින් පුළුස්‌සන ලද ගඩොල් දඹු ගල් වගේ ම මෝඩ ගල් භාවිත කරල තිබෙනවා. බොහෝ දෙනා සිතන්න පුළුවන් මේක අහම්බෙන් සිදු වූ දෙයක්‌ කියල. නෑ නිවැරැදි අවබෝධයක්‌ ඇතිවයි මේ ආකාරයට ගල් භාවිත කරල තිබෙන්නේ.

සලපතල මළුවේ සිට අඩි 70කින් පමණ ඉහළට දඹු ගඩොල් වැඩියෙන් භාවිත කරල තිබෙනවා. ගඩොල් වරි දෙකක්‌ අතර මිලිමීටර් 5ත් 10ත් අතර ප්‍රමාණයක මැටි බදාමයක්‌ තිරස්‌ අතට අතුරපු බවක්‌ දක්‌නට ලැබෙනවා. සිරස්‌ අතට මේ බදාමය දක්‌නට ලැබෙන්නේ නෑ. පිටත කවචයෙන් ඇතුළත ප්‍රදේශය ගැන අපි සොයා බැලීමක්‌ කළා. කවචයට ඇතුළතින් හමු වන කලාපයේ හොඳින් පිළිස්‌සූ ගඩොල් හමු වෙනවා. නමුත් විශාල ගඩොල් හමු වන්නේ නෑ. එදා තිබුණු විශාල ගඩොල්වලින් හරි අඩක්‌ පමණ විශාල ගඩොල් තමයි මෙහි දකින්නට ලැබෙන්නේ. පිටත කවචය අඟල් 2ක්‌ පමණ ඝනකම් ඇති තුනීs සහ විශාල ගඩොල්වලින් තමයි නිර්මාණය කරල තිබෙන්නේ. කවචයෙන් ඇතුළට ගිය විට සුවිශේෂී ලක්‌ෂණයක්‌ දක්‌නට ලැබෙනවා. ඒ තමයි හරස්‌ බැමි පිහිටා තිබීම. මේ කලාපයේ සමහර ගඩොල් එක මත එක තබා නිර්මාණය කරලත් තිබෙනවා. එනම් ඒවා අතර මැටි බදාමයක්‌ දක්‌නට නැහැ. ගර්භයේ මැද පෙදෙසේ පසු/මැටි සහ කුඩා ගඩොල් කැබැලි ස්‌ථර වශයෙන් අතුරා තිබෙන අතර ගඩොල් කැබැලි පස්‌ ස්‌ථරය තුළට කාවද්දා තිබෙනවා. මේක නිර්මාණය කරල තිබෙන්නේ පහළ සිට ඉහළට විහිදෙන ස්‌ථම්භයක්‌ (
Column) විදියටයි. මේ ස්‌ථම්භය හතරැස්‌ කොටුවේ පාදම දක්‌වා විහිදෙනවා. දිගින් හා පළලින් මීටර් 23ක්‌ වන හතරැස්‌ කොටුවේ උස මීටර් 11ක්‌. මේක අති විශාල බරක්‌. මේ තරම් අති විශාල බරක්‌ දරාගෙන සිටින්නේ ඉහත සඳහන් කළ ස්‌ථමිභයයි.

දාගැබේ ගර්භය මඟින් දරාගත යුතු ප්‍රධානතම භාරය වන්නේ හතරැස්‌ කොටුවේ සහ කොත් කැරැල්ලේ බර ය. ගණනය කිරීම්වලට අනුව හතරැස්‌ කොටුවේ බර කිලෝ නිව්ටන් ලක්‌ෂ 3ක්‌ හෙවත් කිලෝග්රෑම් ලක්‍ෂ 3000ක්‌ පමණ වෙයි. මේ තරම් විශාල බර ප්‍රමාණයක්‌ පොළොවට සම්ප්‍රේෂණය වීමේ දී මුළු ගර්භය ම ගඩොලින් නිම කර තිබුණේ නම් එහි ආතති සංකේන්ද්‍රණය සිදු වී කොටසක්‌ හෝ පුපුරා යැමක්‌ සිදු විය හැකි ය. ගඩොල් බැඳීමේ දී ඇති වන වෙනස්‌කම්, ජල අවශෝෂණය හේතුවෙන් හා අධික තාපය නිසා ඇති වන ප්‍රසාරණයේ බලපෑමක්‌ බෙහෙවින් ඇති වෙයි. ස්‌ථම්භය මුළුමනින් ම පස්‌ හා මැටිවලින් නිර්මාණය කළේ නම් ඒවායේ ස්‌පර්ශීය බල දරාගැනීමේ හැකියාව අඩු නිසා ඒ වටා ඇති කොටසට විශාල බලයක්‌ ලබා දෙයි. මේ තෙරපුම අවම කිරීමට පස්‌ මැටි සහ ගඩොල් කැබැලි මිශ්‍රිත ස්‌ථරය සමත් වෙයි. එනම් මේ ස්‌ථර මඟින් ස්‌ථම්භයේ (
A) ස්‌පර්ශීය බල දරාගැනීමේ හැකියාව වැඩි කෙරෙයි. මේ අනුව ඉහළ කොත් කැරැල්ලේ සහ හතරැස්‌ කොටුවේ බර ආතති සංකේන්ද්‍රණවලින් තොර ව පහළ අත්තිවාරමට ගෙන යැමට මැද ස්‌ථම්භාකාර කොටසට හැකියාව ඇත. මේ ස්‌ථම්භාකාර කොටසින් අරීයව ඇති කෙරෙන බල දරාගැනීමට මැද පෙදෙසේ ඇති ගඩොල් බැමි සහිත කොටස (B) සමත් වෙයි. ගඩොල් කවචයෙන් (C) බොහෝ දුරට කෙරෙන්නේ දාගැබට නියමිත හැඩයක්‌ ලබා දීම සහ අභ්‍යන්තරයට වර්ෂාවෙන් හා වෙනත් බාහිර උවදුරුවලින් වන හානිය අවම කිරීමයි. කවචයේ ගඩොල් අතර දඹු ගඩොල් අතරින් පතර දමා ඇත්තේ ඇති විය හැකි ආතති දරා ගැනීමට හැකි වන පරිදි ය. දාගැබේ ඉහළ දී ඉහළ බර නිසා ස්‌ථම්භයට ඇති වන සම්පීඩනය වැඩි අතර ඒ නිසා ම එමඟින් ඒ වටා ඇති කොටසට ඇති කෙරෙන අරීය සම්පීඩනය ද වැඩි ය. මේ නිසා කවචයේ ඇති විය හැකි පරිධිය ඔස්‌සේ ඇති වන ආතති ද වැඩි විය හැකි ය. ඉහළට වන්නට වැඩිපුර දඹු ගඩොල් ඇත්තේ මේ ආතති බල සමනය කිරීම සඳහා ය. දාගැබේ ඉහළ සීමාවේ වැඩි බරක්‌ තිබෙන බැවින් මැද ස්‌ථම්භයට සම්පීඩනය වැඩි වෙයි. එබැවින් ඒ වටා ඇති කොටසට ඇති කෙරෙන අරීය සම්පීඩනය ද ඉහළ අගයක්‌ ගනී. මේ හේතුවෙන් කවච කොටසේ පරිධිය ඔස්‌සේ ඇති විය හැකි ආතතිය ද වැඩි වෙයි. ගර්භයේ ඉහළ සීමාවට වන විට දඹු ගඩොල් වැඩි ප්‍රමාණයක්‌ අතුරා ඇත්තේ මේ ආතති නිසා කවචය පුපුරා යැම වැළැක්‌වීමට විය හැකියි.

මේ අනුව ඡේතවන දාගැබේ ඉහළ බල ආතති සංකේන්ද්‍රණය නො වන පරිදි ක්‍රමානුකූලව පහළට ගෙන ඇත. බර ප්‍රධාන වශයෙන් මැද ස්‌ථරය හරහා ස්‌ථම්භය ඔස්‌සේ පහළට යෑවෙන අතර එයට ආධාර පිරිස ගඩොල් බැමි හරහා ගරාදි ආකාර සථරයක්‌ නිර්මාණය කර ඇත. පිටත ගඩොල් කවචය මහා විනාශයකට ලක්‌ වී තිබිය දීත් දාගැබේ ඉහළ හතරැස්‌ කොටුව හා කොත් කැරැල්ල කිසිදු ඇල වීමකින් තොර ව එදා සිට අද දක්‌වා වූ වසර 1700කට වැඩි ප්‍රමාණයක්‌ පවතින්නේ මේ බල සම්ප්‍රේෂණ ක්‍රමවේද නිසා ම බැව් කිව යුතු ය.

ඡේතවන දාගැබ ප්‍රතිසංස්‌කරණය කිරීම අරඹන අවස්‌ථාවේ මහා විශාල ගස්‌ දාගැබේ සලපතල මළුවේ සිට ගර්භය හරහා හතරැස්‌ කොටුව දක්‌වා වැවී තිබිණි. මෙපමණ මහ ගස්‌ වැවී තිබුණ ද කිසිදු පිපිරීමක්‌ හෝ නො තිබුණු අතර ගස්‌ වැවීම නිසා ඇතුළට ජලය කිඳා බැසීමක්‌ දක්‌නට ලැබිණි. මේ හේතුවෙන් හටගත් පීඩනය හේතුවෙන් ගඩොල් එක මත ලිස්‌සා යැමක්‌ පමණක්‌ සිදු වී ඇත. මෙයින් පැහැදිලි වන දෙයක්‌ නම් බාහිර පීඩනයක්‌ දරාගත හැකි වන පරිදි දාගැබ ගොඩනඟා තිබීම ය. අනෙක්‌ විශේෂ ලක්‌ෂණය වන්නේ හතරැස්‌ කොටුවෙන් පහළට එන බල පස්‌වලින් පිරවූ ස්‌ථම්භය ඔස්‌සේ පහළට යන අතර ම ගරාදි ආකාරයට ඉදි කළ කලාපයෙන් දෙපසට සම්ප්‍රේෂණය වී කවච ප්‍රදේශය දක්‌වා ගමන් කිරීමේ දී ක්‍රමයෙන් බලය අඩු වී ශුන්‍ය තත්ත්වයට පත් වීම ය. මෙහි දී බලය අරීයව සම්ප්‍රේෂණය වන විට ගඩොල් බිත්ති අතර තිබෙන ගඩොල් පස්‌වලින් සහ දඹු ගඩොල් මඟින් බලය අවට ස්‌ථරවලට සම්ප්‍රේෂණය අවම කර ඇත.

ඡේතවනාරම දාගැබ ඉදි කිරීමේ දී යොදාගත් තාක්‍ෂණ ක්‍රමවේදය පිළිබඳව විමසීමේ දී අපේ පැරැණි විද්‍යාඥයන් බඳු වූ ශිල්පීන් ගේ සොබාදහම පිළිබඳව හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව තිබුණු දැනුමත් හා නිරවුල් අවබෝධයත් මැනැවින් පැහැදිලි වෙයි. සැලසුම් ශිල්පය, මිනිත ශ්‍රාස්‌තය, ද්‍රව්‍ය ඉංජිනේරු විද්‍යාව, (
Matereal Engineering), ව්‍යqහ ඉංජිනේරු විද්‍යාව (SStructuralMatereal Engineering), ඉදිකිරීම් ශාස්‌ත්‍රය, පරිසර විද්‍යාව හා පිරිස්‌ කළමනාකරණය වැනි විද්‍යාත්මක හා පරිපාලන ක්‍ෂේත්‍ර පිළිබඳව තිබුණු දැනුම ද ඉතා වැදගත් විය. එහෙත් අද...?

Tuesday, February 7, 2012

කළු - සුදු සිහින සැබෑ කළ මාටින් ලූතර් කිං

ඔහුට සිහිනයක්‌ තිබිණි. ඒ ඇමරිකා එක්‌සත් ජනපදයේ අගමැති හෝ ජනාධිපති පදවිය පිළිබඳව නොවේ. ඔහුගේ සිහිනය වූයේ සමස්‌ත ඇමරිකානු ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් ස්‌ථීරසාර පදනමක්‌ යටතට පමුණුවා කළු - සුදු භේදයෙන් තොර සාමකාමී හා සමෘද්ධිමත් ඇමරිකාවක්‌ බිහි කිරීමයි.

උපතේදී මයිකල් ලූතර් කිං ලෙස නම් කෙරුණු හෙතෙම පසු කලෙක මුළු ලෝකයෙහිම ගෞරවාදරයට පාත්‍ර වූයේ මාටින් ලූතර් කිං (කනිෂ්ඨ) යන නාමයෙනි. 1929 ජනවාරි 15 දින ඔහු උපත ලැබුවේ ඇමරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයෙහි ඇට්‌ලන්ටාවේදීය. ඒ ඇට්‌ලන්ටාවේ බැප්ටිස්‌ට්‌ පල්ලියක ප්‍රධාන පූජකතුමන් වූ ජ්‍යෙෂ්ඨ මාටින් ලූතර් කිං සහ ඇල්බර්ටා ක්‍රිස්‌ටීන් යුවළට දාවයි.

ප්‍රබල ආගමික පසුබිමක්‌ සහිත පවුලක උපන් කිං කුඩා අවධියේ සිටම සුවිශේෂී දක්‍ෂතා පෙන්වූ දරුවකු විය. පාසලේදී හා පල්ලියේදී ඔහු හැම විටම කැපී පෙනුණි. වයස අවුරුදු පහ වන විට බයිබලයේ බොහෝ පාඨයන් සහ පල්ලියේ ගීතිකාවන් අපූරුවට කට පාඩමින් ගායනා කළේය.

පාසලේදී දෙවතාවක්‌ම ද්විත්ව උසස්‌වීම් ලද කිං වයස අවුරුදු පහළොවේදී උසස්‌ අධ්‍යාපනය සඳහා ඇට්‌ලන්ටාවෙහි මෝර්හවුස්‌ විද්‍යාලයට ඇතුළත් කෙරිණි. 1947 දී ඔහු ඉන් පිටවූයේ සමාජ විද්‍යාව පිළිබඳ උපාධිධරයකු හැටියටයි.

අනතුරුව තම පියාගේ පල්ලියෙහි උප පූජක තනතුරට පත් වූ හෙතෙම අධ්‍යාපන කටයුතු ද අඛණ්‌ඩව පවත්වාගෙන ගියේය.

1955 වන විට ඔහු බොස්‌ටන් විශ්වවිද්‍යාලයෙන් දේවධර්ම ආචාර්ය උපාධිය ලබා සිටියේය.

වටකුරු මුහුණකට සහ මධ්‍යම ප්‍රමාණයේ කඩවසම් සිරුරකට හිමිකම් පෑ තරුණ කිං 1953 වසරේදී බොස්‌ටන්හි සංගීත විද්‍යාලයේ සිසුවියකව සිටි කොරේටා ස්‌කොට්‌ නම් යුවතිය සමඟ විවාහ වූයේය. කොරේටා පසුකාලීනව දරුවන් සිව්දෙනකුගේ මවක්‌ වුවද තම සැමියාගේ සමාජ සේවක ව්‍යාපාරය උදෙසා මහත් කැපවීමකින් කටයුතු කළාය.

ඉතා සංවේදී මනසකින් යුත් කිං ඇමරිකාවේ කළු මිනිසුන් හට සුදු මිනිසුන් විසින් කෙරෙන අකටයුතුකම් නිසා මහත් සේ පීඩා වින්දේය. එහෙත් ඡේසුස්‌ වහන්සේගේ ධර්මයෙන්, ලියෝ ටෝල්ස්‌ටෝයිගේ පොත පතින්, තෝරේගේ ඉගැන්වීමෙන් සහ ඒබ්‍රහම් ලින්කන්ගේ දේශපාලන දර්ශනයෙන් ආභාෂය ලබමින් සිටි ගාන්ධිවාදියකු වූ කිං අවිහිංසාවාදය ප්‍රගුණ කළේය. නිරායුධව සිවිල් නීති කඩකිරීම තුළින් පවතින සමාජ ක්‍රමය වෙනස්‌ කළ හැකි බව ඔහු විශ්වාස කළේය.

කළු - සුදු භේදයට එරෙහිව ඔහුගේ ප්‍රථම ව්‍යායාමය වන්නේ මොන්ගොමරි බස්‌ වර්ජනයයි. 1955 දෙසැම්බර් පළමුවැනි දින රෝසා පාක්‌ස්‌ නම් වූ කළු ඇමරිකානු කාන්තාව සුදු ජාතිකයකුට තම අසුන පිරිනැමීම ප්‍රතික්‌ෂේප කිරීමෙන් මෙම සිද්ධිය ආරම්භ විය. බස්‌ රියෑදුරා ඇය බසයෙන් පිටතට ඇද දමමින් ඇයට හිංසා පීඩා කළේය.

කළු ඇමරිකානුවන් මෙහෙයවූ මාටින් ලූතර් කිං මොන්ට්‌ගොමරි ප්‍රදේශය තුළ බස්‌රියෙන් ගමන් කිරීම වර්ජනය කඩෙළ්ය. ඔවුහු දින 368 ක්‌ තිස්‌සේ තම ගමන් බිමන් සඳහා බයිසිකලය හෝ කාරය පාවිච්චි කළහ.

කිං අත්අඩංගුවට ගැනිණි. ඔහුගේ නිවසට බෝම්බ ප්‍රහාරයක්‌ද එල්ල කෙරිණි. එතැන් සිට මාටින් ලූතර් කිං ජාත්‍යන්තර ප්‍රතිරූපයක්‌ බවට පත් විය. ඒ සමගම ලතින් ඇමරිකාව, ආසියානු රටවල් සහ යුරෝපයේ සමහර රටවල් ද කිං හට ඔහුගේ ව්‍යාපාරය වෙනුවෙන් සහයෝගයය දැක්‌වීය.

අත්අඩංගුවට ගැනුණාද කිං ගේ උත්සාහය සාර්ථක විය. ඇලබාමාව තුළ ක්‍රියාත්මක වෙමින් තිබූ රථ තුළ සුදු සහ කළු ජාතිකයන් සඳහා අසුන් වෙන් කර තැබීමේ නීතිය එක්‌සත් ජනපද මහාධිකරණය විසින් අවලංගු කරනු ලැබිණි.

කිං එතෙකින් නැවතුණේ නැත. මහත්මා ගාන්ධිතුමාගේ ක්‍රියා කලාපය අනුගමනය කරමින් දේශනා පවත්වමින් ඔහු ජනතාව අවදි කරවූයේය. මොන්ට්‌ගොමරිහි කතෝලික දේවස්‌ථාන තුළ ඔහු පැවැත්වූ දේශනවලට සවන් දෙනු වස්‌ දස දහස්‌ ගණනින් ජනතාව රැස්‌වූහ. පැහැදිලි ගැඹුරු හඬින් සත්‍යය හා සාධාරණය වෙනුවෙන් ඔහු පැවසූ හැම වදනක්‌ම ගීතවත් හා අර්ථවත් විය.

1956 වසරේදී ආචාර්ය කිං දකුණු ක්‍රිsස්‌තියානි නායකත්ව සම්මේලනය (Southern Christian Leadership Conference) නම් වූ සංවිධානය පිහිටුවන්නට පුරෝගාමී වූයේ තම අවිහිංසාවාදී අරගලය වඩාත් සාර්ථක කර ගැනීමේ අපේක්‍ෂාවෙනි. එතුමා එහි සභාපති ධුරයට පත්විය.

එතැන් සිට වර්ගවාදයට මෙන්ම ධනවාදයට ද එරෙහිව ඔහු සංවිධානය කළ දැවැන්ත පෙළපාලි සහ රැලි, බොහොමයකි.

1962 දී බර්මිංහැම් ව්‍යාපාරය තුළින් පෙළ ගැස්‌වූ මහා පෙළපාලිය මේ අතරින් සුවිශේෂී වූවකි. බර්මිංහැම් සහ ඇලබාමා නගරවල වීථි පූරා ගමන් ගත් කළු ඇමරිකානුවන් හට සුදු පාලකයන් එල්ල කළේ ම්ලේච්ඡ ප්‍රහාරයකි.

එම ප්‍රහාරය සඳහා ඇමරිකානු පොලිසිය දරුණු ගණයේ පොලිස්‌ බල්ලන් සහ ගිනි නිවන ජල නළ භාවිත කළ බවට ලොව පුරා ජනමාධ්‍යකරුවෝ සාක්‍ෂි දැරූහ.

1963 අගෝස්‌තු 28 වැනි දා වොෂිංටනයෙහිදී සංවිධානය කෙරුණු පෙළපාලිය සහ රැලිය සඳහා ඇමරිකානු ජනතාව දෙලක්‍ෂ පනස්‌ දහසක (2,50,000) පමණ සහභාගි විනැයි කියෑවේ. වොෂිංටනයේ ලින්කන් අනුස්‌මරණ ශාලාවේදී එකීS මහා ජනකාය අමතා කිං පැවැත්වූ ඓතිහාසික දේශනය "මට සිහිනයක්‌ තිබේ"

(I have a dream) නම් විය.

"මට සිහිනයක්‌ තිබේ... කිසියම් දවසක ජෝර්ජියාවේ රතු කඳු මුදුනෙහි අතීතයේ සිsටි වහලුන්ගේ දරුවන් සහ වහල් හිමියන්ගේ දරුවන් එක මේසයක්‌ වටා සහෝදරත්වයෙන් එක්‌ රොක්‌ වී ප්‍රීතියෙන් සිටිනු දැකීම මගේ ඒ සිහිනයයි."

ඉතා දීර්ඝ හා මනබන්ධනීය වූ ඒ කතාවෙහි සඳහන්වූ කිංගේ එක්‌ සිහිනයක්‌ එසේ විය.

1964 වසරේදී කළු ඇමරිකානුවන් හට යම් යම් සහන සලසමින් සිවිල් අයිතිවාසිකම් පනත සම්මත විය.

ඇමරිකාව තුළ වර්ණභේදය අවම කරන්නට ගන්නා උත්සාහය වෙනුවෙන් එම වසරේදීම මාටින් ලූතර් කිං හට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමිණි. එවකට ඔහුගේ වයස අවුරුදු තිස්‌ පහක්‌ පමණක්‌ වූ අතර නොබෙල් තරගය දිනූ ළාබාලතමයා ලෙසද ඔහුගේ නම සටහන් විය. තිළිණය ලෙස එහිදී ලද මුළු මුදල වූ ඩොලර් 54,123 ඔහු වැය කළේ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ව්‍යාපාරයේ උන්නතිය උදෙසාය.

එහෙත් ඒ වන විටත් දකුණෙහි විසූ කළු ජාතිකයන් හට ඡන්ද බලය ලැබී තිබුණේ නැත. ඔහු තවදුරටත් සාමකාමී පෙළපාලි සංවිධානය කළේය. 1965 දී ඇලබාමාවේ සෙල්මා නගරයේ සිට මොන්ට්‌ගොමරි දක්‌වා ගමන් කෙරුණු පෙළපාලි යෙහි 25,000 කට අධික පිරිසක්‌ සහභාගි වූහ. එහිදී ද රජයේ හමුදාව විසින් ප්‍රබල ප්‍රහාරයක්‌ එල්ල කෙරුණු අතර සුදු ජාතික පූජකවරයෙක්‌ද මරුමුවට පත්විය.

කෙසේ හෝ 1965 දී ෆෙඩරල් ඡන්ද අයිතිවාසිකම් පනත නීතිගත කෙරිණි.

මේ අතර කළු ජාතිකයන් අතරින්ම තවත් විප්ලවකාරී නායකයෝ බිහි වී සිටියහ. ආචාර්ය කිං හට මෙන්ම ඔහුගේ අවිහිංසාවාදී පිළිවෙතටද ඔවුන්ගේ තර්ජන ගර්ජනවලින් අඩුවක්‌ නොවීය. කොතෙකුත් වූ නින්දා අපහාස ගලා ආවේ කිංගේ ප්‍රබල ශක්‌තිය දුර්මුඛ කිරීමේ අභිප්‍රායෙනි.

එහෙත් ඒ අතරතුර 1968 දී කිං වොෂින්ටනය තුළ තවත් දැවැන්ත පෙළපාලියක්‌ පැවැත්වූයේ "දුප්පත්කම තුරන් කළ යුතුය" යන තේමාව යටතේය. ඒ වසරේම මාර්තු මාසයේ දී ටෙනිසිහි මෙම්ෆිස්‌ නගරයෙහි කසළ ශෝධකයෝ දහස්‌ ගණනින් එක්‌ව වැඩ වර්ජනයක්‌ දියත් කළහ. කිං එහි ගියේ ඔවුනට සහාය පළ කරනු පිණිසය. එහෙත් ඔවුන්ගේ පෙළපාලිය අවසාන වූයේද දහසය හැවිරිදි කළු තරුණයකුගේ මරණයකිනි. තවත් බොහෝ පිරිසක්‌ තුවාල ලැබීමෙන් සහ 200 ක්‌ දෙනා අත්අඩංගුවට පත්වීමෙනි.

1968 අප්‍රේල් 4 වැනිදා ඔහු මෙම්ෆිස්‌ නගරයෙහි ලෝරේන් මොටෙල් හෝටලයෙහි නවාතැන්ගෙන සිටියේද එකී කලබලය නිසා හටගත් ගැටලුවලට පිළියම් සොයනු සඳහාය. ඒ වනවිටත් එල්ල වී තිබූ මරණ තර්ජන ඔහු නොසලකා හැරියේය.

"මරණය මට ප්‍රශ්නයක්‌ නොවෙයි. දෙවියන් වහන්සේ මා හට කඳු මුදුනටම පැමිණෙන්නට ඉඩ ලබා දී තිබෙනවා" ඔහු පැවසීය.

ඒ හේතුවෙන් ඉලිනොයිහි උපන් මැරවරයකු වූ ඡේම්ස්‌ අර්ල් රේ" හට මාටින් ලූතර් කිං නම් වූ මහා මානවහිතවාදියාගේ ජීවිතය පහසුවෙන්ම බිලිගත හැකි විය. කිංගේ ගෙලට ඇතුළු වූ රේගේ වෙඩි උණ්‌ඩය හක්‌ක පසාරුකරමින් කොඳු ඇට පෙළටද හානිකරමින් උරහිස දක්‌වාම ගමන් කොට තිබිණි.

1955 වසරේදී ආරම්භ වී 1968 දී එලෙස අවසාන වූ කිංගේ අභිමානවත් ගමන් මග තුළ ඔහු ඇවිද ගිය දුර ප්‍රමාණය ආසන්න වශයෙන් සැතපුම් මිලියන හයකි. ජනතාව අමතා ඔහු කතා කළ වාර ගණන දෙදහස්‌ පන්සියයකි.

බුදුහු ආයුසංස්‌කාරය හරිති මිහිකත සැලෙයි. දෙව් ලොවම කැළඹෙයි

බුදුහු ආයුසංස්‌කාරය හරිති
මිහිකත සැලෙයි. දෙව් ලොවම කැළඹෙයි




වැසි සමය පහව යමින් තිබිණි. ගඟ, ඇළ දොළ උතුරා විඩාපත් මහ පොළොව නිවමින් තිබිණි. අලුත් දලු වලින් හා මලින් බර වූ රැක්‌ පෙළ සිනාසෙයි. බුදුහු ද අලුයම පිබිඳ දැහැන් සුව විඳ සියලු කටයුතු නිමවා පිඬු සිඟා වැඩීමේ අරමුණින් ආනන්ද හිමියන් උදෙසා බලා සිටියහ. ඒ බේලුව නමැති ලිච්ඡවීන්ගේ රාජ්‍යයට අයත් ගමකි. එහි සිට විශාලා නුවරට ද කෙටි දුරකි. ඉක්‌බිති ආනන්ද හිමියන් ද සමඟ මඟට බැස ගෙපිළිවලින්ම පිඬු සිඟා වැඩි බුදුහු චාපාල චෛත්‍ය අසල නතර වී වැළ»හ. බුදුන් වහන්සේ උපේක්‍ෂාවෙන් සොබා අසිරි විඳිනු දුටු ආනන්ද හිමියන් තුළ සොම්නසක්‌ ද වැඩුණි. විහඟසර මුනි පුදට ගයන ගී මුසු මඳ පවන ආනන්ද හිමියන්ට ද සුවයකි. උන්වහන්සේගේ සිතට බුදු මහිමය සිහිපත් විය. මිහිපිට මෙවන් ආශ්චර්යන් දැක්‌වූ ධර්ම, ගුණ, නැණ, ප්‍රඥා, විශාරද ශ්‍රේෂ්ඨ මහා පුරුෂයකු නොවූ බව ද උන්වහන්සේට සිහිවිය. ආනන්ද හිමියන්ගේ කල්පනා ලොව බිදුණේ බුදුන්ගේ මේ උදන් වැකි දෙසවන් ගැටෙද්දීය.

"ආනන්දය, වේසාලිය රමණීයයි. උදේන චෛත්‍යය රමණීයයි. ගෝතමක චෛත්‍යය රමණීයයි. සන්තම්බ චෛත්‍යය රමණීයයි. බහුපුත්ත චෛත්‍ය රමණීයයි. සාරන්ද චෛත්‍ය රමණීයයි. චාපාල චෛත්‍ය රමණීයයි. තවද ආනන්දය යමෙකු විසින් ඡන්ද, චිත්ත, වීර්ය, විමංසා යන සතර සෘද්ධිපාද වඩන ලද්දේ ද මනාව පුරුදු පුහුණු කරන ලද්දේ ද හේ රිසි වන්නෙහි නම් මුළු ආයු කාලයම හෝ කල්පාවශේෂයක්‌ හෝ ජීවත් විය හැක්‌කේ ය. මම ඒ සියල්ල මනාව පූර්ණය කළෙමි."

ආනන්ද හිමියෝ ඒ සියල්ල අසා සිටි නමුදු එහි වාච්‍යාර්ථය විනා එහි ගැඹුරු යථාර්ථය නොදුටහ. බුදුහු කුමක්‌ නිසා මෙසේ වදාරත්දැයි නොදත්හ. අනතුරුව බුදුහු දෙවන වරට ද තෙවන වරටද වශයෙන් ඒ උදන් වැකි වදාළහ. එහෙත් ආනන්ද හිමියෝ ඒ කිසිවක්‌ ගැඹුරින් මෙනෙහි නොකළහ. සැබැවින් ම ඒ වේලෙහි ආනන්ද හිමියන් තුළ නිරවුල් මනසක්‌ නොවීය. බුදුන් වහන්සේගේ සුසුමක්‌ වුවද මනාව පසක්‌ කර ගන්නා ආනන්ද හිමියන්ගේ මේ තුෂ්ණිම්භූත ප්‍රතිචාරයට ප්‍රබල හේතුවක්‌ ද විය. මාරයා ආනන්ද හිමියන් වසඟයට ගෙන බුදුන් වහන්සේගේ වදන් පිළිබඳ ගැඹුරින් මෙනෙහි කිරීමට අවකාශ නොදුන් හෙයිනි. එහෙත් තමන් අතින් සිදු වූ ප්‍රමාදය ආනන්ද හිමියන්ට එවේලෙහි පසක්‌ වූයේද නැත.

ආනන්ද හිමියන්ගේ නිහඬ ව්‍රතය දත් මාරයා එවේලෙහිම බුදුන් අබියස විද්‍යමාන විය. මේ කිසිවක්‌ නොදත් ආනන්ද හිමියෝ ද බුදුන් වහන්සේට විවේක සුවය වටනේ යෑයි සිතමින් ම එතැනින් බැහැරව ගොස්‌ රුක්‌ සෙවනක හිඳගත්හ.

මාරයාගේ සිතැඟි අතැඹුලක්‌ සේ දත් බුදුහු ද, "මාරය, තොප කුමක්‌ හෙයින් මෙසේ යළිත් මා ලුහුබැඳ එන්නෙහිද? තොප මා වෙතට එන්නේ යහපත් අරමුණකින් නොවන බව ද මම ඉඳුරා දනිමි"යි සන්සුන්ව වදාළහ.

"භාග්‍යවතුනි, දැන් පිරිනිවන සඳහා කල් එළඹ තිබේ. මම ඒ සඳහා ආරාධනා කිරීමට පැමිණියෙමි."

මාරයා නොපැකිලව කියද්දී බුදුහු මෙසේ වදාළහ.

"මාරය, සියලු සත්ත්වයෝ මරණය කෙළවර කර ඇත්තාහ. මරණය නො ඉක්‌මවූවෝ නොවෙති. එහෙත් මමමේ සසර දුක නිමවන මඟට බට වෙලේ පටන් ජරා, මරණ සහිත මේ ජීවිතය ඉක්‌මවා යා හැකි මඟක්‌ සොයා ඒ උදෙසාම කැප වීමි. මම එහි සියලු ගති ඉඳුරා දතිමි. මම යම් දිනක ඒ දුකට කිරිය වෙත යොමු වූයෙම්ද, එතැන් සිට මේ දක්‌වාම තොප මගේ සෙවනැල්ල සේ ම වූවෙහිය. එහෙත් ඒ හැම තන්හිම තොප ලද ජයක්‌ නැත්තෙහිය. රූප, ශබ්ද,රස, ගන්ධ. ස්‌පර්ශ යනාදී පස්‌ කම්හි නොඇලෙන මම කිසි විටෙක ජීවිතයෙහි නොබැඳෙමි. පවිටු මරුන්ගේ සියලු මළපුඬු, රැහැන් සිඳ බිඳ දැමූ මා මාරපාශයෙන් බැඳ ගත නොහැකි බවද තොප දන්නෙහිය. මම තොප ලොල් වන පවට හරස්‌ වීමි. අපාය මාර්ගය වැසීමි. ප්‍රේත ලොවට යන මඟ ද හරස්‌ කළෙමි. තිරිසන් යෝනියට වැටීමේ අනතුර දුරු කළෙමි. අර්හත් මඟ සාදා සියලු ජනතාව ඒ වෙතට යොමු කළෙමි.

මාරයා ද මුවින් නොබැණ සියල්ල අසා සිටියේය. ඔවුන් සිත තුළ ද අතීත ජවනිකා එකින් එක නැඟෙන්ට විය. බෝසතුන් දුෂ්කර ක්‍රියා කළ අවදියෙහි මාරායා කල් යල් බලමින් ඒ සමීපයෙහි සිටි අයුරු ඔහුට සිහිවිය. නේරංජරා නදිය අසබඩ බෝසතුන්ගේ වීර්ය සිඳලීමමට ගත් තැත ඔහුට මතක්‌ විය. දෙව් බඹුන් සහිත ලෝකයෙහි කිසිම කෙනෙකුට පරාජය කළ නොහැකි වු මාර හමුදාව අධිෂ්ඨානයෙන් ද ප්‍රඥාවෙන් ද පහර දී එලවූ අයුරු සිහි වු මාරයාට ලැඡ්ජාවක්‌ ද දැනුණි. බුදුහු මැටි බඳුනකට ගල්කුළකින් පහර දෙන්නා මෙන් මගේ සියලු බල බිඳ දැමුහ. එසේ වුවද යළි යළිත් කන්නලව් කර මගේ ඉල්ලීම ඉදිරිපත් කළ යුතු යෑයි මාරයා සිතීය. ඒ සමගම මාරයා ඇමතූ බුදුහු මෙසේ වදාළහ.

මාරය මගේ භික්‍ෂු ශ්‍රාවකයෝ ව්‍යක්‌තව, විනීතව, විශාරදව බහුශ්‍රැතව, ධර්මධරව, ධර්මානුකූලව, ධර්ම ප්‍රතිපත්aතිව පවත්නාහු නොවෙත්ද? ඔව්හු යම්තාක්‌ ගුරුවරයා නො ඉගෙන සිටිත්ද. ඒ ආකාරයට දේශනා නොකරත්ද. නොපවතිත්ද. ඒ සදහම් එලෙස සාදා විග්‍රහ කර නොදක්‌වත්ද නොහෙළි කරත්ද ඒ තාක්‌ මම පිරිනිවන් නොපාන්නෙමි. මාගේ ඒ අදිටන බිඳලිය හැකි කිසිවෙක්‌ ද නොවෙති.

මාරයා ද ඉතා සන්සුන්ව දැන් එබඳු භික්‍ෂු ශ්‍රාවක පිරිස්‌ බිහිව සිටිති යි කීවේය. දැන් භාග්‍යවතුන් ගේ ආචාර්යවාදය මනාව ප්‍රගුණ කළෝ සිටිති. ඒවා ඔදවත්ව, තෙදවත්ව පණවත්ව දෙසන්නෝ ද වෙති. එහෙයින් පිරිනිවන සඳහා බාධාවක්‌ ද නැත්තේය. එසේ කරනු මැනවැයි අයෑද සිටියේය.

එවේලේ බුදුහු ද ශාසන බ්‍රහ්මචර්යාව සමෘද්ධ වූ බව සිහි කළහ. බොහෝ ජනයාට ධර්මාවබෝධය ලබා දුන් අයුරු ද සිsහිකළහ. තවද තමන් වහන්සේගේ පිරිනිවීම තුළින් ද සියලු සංස්‌කාර ධර්මයන්ගේ ජරාව, අනියත බව පසක්‌ කළ හැකිවන බව ද බුදුහු දුටහ. අනතුරුව බුදුහු එදින සිට තුන් මසක ඇවෑමෙන් තමන් වහන්සේ පිරිනිවන් පාන බව තහවුරු කළහ.

බුදුන් වහන්සේ ආයු සංස්‌කාර්ය හළ සැණකින්ම මිහිකත සැලී ගුගුරා ගියේය. දෙව් ලොව ද නොයෙක්‌ කැළඹිලි ඇතිවිය. දිව බෙර ඉබේම පැලී ගියේය. දිවමල් මිළිණ වී ගියේය. දෙවඟනන්ගේ ගී නද ගොළු විය. එක්‌වරම මහා අන්ධකාරයක්‌ නැගී ඔවුන් සිත් තුළ බියක්‌ ද දැනවීය. සක්‌දෙවිඳු හා මහබඹු ද මේ කුමන විපර්යාසයක්‌දැයි බලන්නාහු බුදුන් වහන්සේ ආයු සංස්‌කාරය හළ වග දැන ගත්හ. එපුවත් ඇසූ දෙව්ලොව ද බඹලොව ද එකම දුක්‌ අඳුරක ගිලී ගියේය.

මේ සියලු විපර්යාස ආනන්ද හිමියෝ නොදත් නමුදු මහපොළොව කම්පා වූ අයුරුත්, මේඝ ගර්ජනා සිදු වූ අයුරුත් දුටහ. උන්වහන්සේ වහා නැගිට බුදුන් වහන්සේ වෙත පැමිණ ඒ සියලු තතු සැලකර සිටියේය. බුදුහු ස්‌වල්ප වේලාවක්‌ ආනන්ද හිමියන්ගේ මුහුණ දෙස බලා සිටියහ. තව නිමේෂයකින් ඔවුන් තුළ පැන නගින චිත්ත පීඩාවද බුදුහු දුටහ. එහෙත් කළ හැකි කිසිවක්‌ නොවන බව ද උන්වහන්සේට ප්‍රත්‍යක්‍ෂය.

ආනන්දය, භූමි චලනය යනු නිකරුණේ සිදුවන්නක්‌ නොවේ. එයට හේතු අටක්‌ වේ. ආනන්දය මේ මහා පොළොව දිය ආධාර කර පිහිටියේය. යම් විටෙක මහා වා කඳක්‌ නැඟී ඒ දිය සොලවන්නේද පෙළොව ද සෙළවෙයි. ඒ ස්‌වභාවයකි. එසේම සෘද්ධි බල සහිත ශ්‍රමණයෙක්‌, දෙවියෙක්‌ හෝ එබඳු ආනුභාවයකින් පූර්ණ වූ අයෙක්‌ පෘථිව සංඥාව වඩත්ද, එවිට මේ පොළොව ප්‍රකම්පිත වේ. මේ හැරුණු කල බුදුවරයකු මව්කුස පිළිසිඳීම, මෙලොවට බිහිවීම, බුදුබව ලැබීම, දම්සක්‌ පැවැත්වීම, ආයු සංස්‌කාරය අතහැරීම, නිර්වාණයට පැමිණීම යන අවස්‌ථාවලදීත් මෙම භූමිකම්පාව හෙවත් භූ චලනය සිදුවන්නේය. දැන් මොහොතකට පෙර ඔබගේ භාග්‍යවතුන් වහන්සේද එපරිද්දෙන් ආයු සංස්‌කාරය හැර තව තුන්මසක ඇවෑමෙන් පිරිනිවන් පෑමට සනිටුහන් කළෙන් ඒ භූමිකම්පාව සිදුවිය.

බුදුන් වහන්සේගේ විග්‍රහය ඇසූ ආනන්ද හිමියෝ මහත් සේ පශ්චාත්තාපයට පත්වූහ. "තව තුන්මසක ඇවෑමෙන් බුදුන් වහන්සේ පිරිනිවන් පානවා" යෑයි තමාටම කියාගත් උන්වහන්සේ වහා පියවි සිහියට පත්ව, බුදු පාමුළ වැඳ වැටි මෙසේ ආයාචනා කරන්නට ද විය.

"අනේ භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේට ප්‍රාණප්‍රියවූ මා ඇතුළු භික්‍ෂු සංඝයා කොපමණ සිටිත්ද? ඒ කිසිවෙක්‌ ඔබ වහන්සේට අබැටක්‌ තරම් වෙනසක්‌ නොකරති. මම ද මගේ ජීවිතයට වඩා ආදරයෙන්, භක්‌තියෙන්, ගෞරවයෙන් රක්‍ෂා කරන්නෙම් ඔබවහන්සේය. එවන් ඔබවහන්සේ කුමක්‌ හෙයින් මෙලෙස පිරිනිවන් පාන සේක්‌ද? ඉදින් මෙයට පෙර වදාළ අයුරින්ම ලෝසතුන්ගේ වැඩ පිණිස, අපගේ සසුනේ අභිවාද්ධිය පිණිස තවත් කල්පයක්‌ වැඩ සිටිනු මැනවි. මම මේ sසිරිපා පියුම් මගේ නෙත් කඳුළින් දොවා ඒ ආයාචනය වරක්‌ දෙවරක්‌ නොව අප්‍රමාණවරක්‌ කරන්නෙමි· සියලු සත්ත්වයන් වෙනුවෙන් කරන්නෙමි.

බුදුහු ආනන්ද හිමියන් ළසොවින් සිටින අයුරු ඉඳුරා දත්හ. ඔවුන්ගේ සිත සුවපත් කර සෙමින් ඔහුට කරුණු පහදා දිය යුතු යෑයි ද සනිටුහන් කර මෙසේ වදළහ.

ආනන්දය, ඔබ හා මා අතර වූ සංසාර බැඳීම ඉතා දීර්ඝය. ඒ සසර මඟ යසෝදරාවන් හැරුණු විට මගේ විමුක්‌ති මාවතට නිබද දිරි දුන් අය අතර ඔබ ද ප්‍රමුඛ වන්නේය. එසේම මගේ අග්‍ර උපස්‌ථායක ලෙස ඔබ විසින් මට දක්‌වන ලද අනුග්‍රහය හා අනුබලය අප්‍රමාණය. මට එරෙහිව නැගුණු අවලාද, සතුරු කුමන්ත්‍රණ. ඔබගේ සංවේගයට හේතු විය. ඔබ මා මරන්ට ආ නාලාගිරි ඇතුන් අබියසට පැනීමට තරම් මා කෙරෙහි භක්‌තියෙන් ද, ගෞරවයෙන් ද යුතු වූවෙහිය. මා යන, එන, සිටින, වළඳන සියලු තන්හි ඔබ මනාව ද අවබෝධයෙන් ද සිටියෙහිය. ඔබ මට නොකළ මෙහෙවර කුමක්‌ද? මට කිසි දිනෙක දැඩි බවක්‌ රුදු සිතක්‌ නොදැක්‌වූවෙහිය. ඒ සියලු රුව ගුණ තේජස්‌ ඔබ තුළ විය. එය ඔබගේ අනන්ත සංසාර පැතුම වූ බව සැබෑ ය. ඔබ වැනි උතුම් සහායකයකුගේ ස්‌වභාවය, දිගු සංසාර අනුගාමිකත්වය කෙබඳු දැයි දන්නේ මා පමණි. එසේ වුවද දැන් ඔබගේ අයෑදුමට පමා වූවා වැඩිය. මවිසින් දෙන ලද ප්‍රතිඥාවෙහි යළි කිසිදු වෙනසක්‌ ද නොවන්නේමය. ඉදින් ඔබ මා කෙරෙහි දක්‌වන භක්‌ති ප්‍රේමයෙහි නාමයෙන් ම මගේ සදහම් සරණම ලැබ ඔබගේ ජීවිතය ද නිවා ගැනීමට වීර්ය වඩනු මැනවි. ඔබට ආලෝකය මෙතැන් සිට ඔබමය. ධර්මය තරම් පිහිටක්‌ කිසිවිටෙක නැත. මාගේ පරිනිර්වාණයෙන් පසු ඒ දහම් එළියෙන් තවත් කලක්‌ ලොව බැබලෙන්නේය. ආනන්දය ප්‍රියයන්ගේ වියෝගය දුකය. නොපැතූ දේ සිදුවීම ද දුකය. තවද කල්පයක්‌ ජීවත් විය හැකි බව මා පුන පුනා කියද්දීත් ඔබගේ සිතට ඒ කාරණය කා නොවැදුණු වග ද මම දනිමි. එය ඔබගේ වරද නොව පුහුදුන් බවෙහි වරදමය. දැන් පටන් එළඹ සිටි සිහියෙන් බුද්ධියෙන් ක්‍රියා කළ යුතුය.

ආනන්ද හිමියන්ට කෙසේවත් සිත සනසා ගත නොහැකි විය. උන්වහන්සේට හැඟුණේ තමත් අතින් යළි කිසි දිනක නිවැරැදිs කළ නොහැකි වරදක්‌ සිදුව ඇති බවය. තමන් විසින් ජීවිතයට වඩා ස්‌නේහයෙන් භක්‌තියෙන් රක්‍ෂා කරන ලද බුදුන් වහන්සේ වරක්‌ දෙවරක්‌ නොව තෙවරක්‌ම කල්පයක්‌ වැඩ සිටිය හැකි වග වදාරද්දීත් එහි අරුත් පසක්‌ කරගන්ට තරම් පියවි සිහියක්‌ නොවූ අයුරු සිතන විට උන්වහන්සේ තුළ තවත් සෝකය දැඩි විය.හිස ඔසවා බුදුන්ගේ මුහුණ දෙස බැලීමට තරම් ශක්‌තියක්‌ ආනන්ද හිමියන්ට නොවීය. ආනන්ද හිමියන්ට හැඟුණේ පවිටු මාරයා තමන්ට සරදම් කරන්නාක්‌ මෙනි. තම මුළාව දෙව් බඹුන් සහිතමුළු ලොව දන්නා බව ද එවේලේ උන්වහන්සේට සිහිවිය.

බුදුහු යළිත් කරුණාවෙන් ආනන්ද හිමියන් ඇමතූහ. පියෙකුට තම පුතුට දක්‌වන ආදරය මෙන්ම දයාර්ද්‍රව ආනන්ද හිමියන් ලෙද බලා සිටි සේක.

ආනන්දය තැවීමෙන් දුක හෝ වෙහෙස තුනී නොවන්නේය. යම් සිත් තැවුලකදී එදෙස බැලිය යුත්තේ සිහි බුද්ධියෙනි. මම මේ සසර පුරා අප්‍රමාණ දේවල් අත්හැර දැමුවෙමි. මගේ සිරුරෙහි මගේම ඉන්ද්‍රියයක්‌ වුවද මට නොවටනා විය. මගේ ජය එයයි. ඔබ ද ඒ දැඩි සිතින්a නැගී සිටිය යුතුය. මම මගේ ධර්මයෙහි කිසිදුÊගුරු මුෂ්ටියක්‌ නොතබා දුන්නෙමි. බුදුවරයකුගේ විලාසය වෙනස්‌ ය. ඇලීම්, ගැලීම්, බැඳීම් කිසිවක්‌ නැත. මම භික්‍ෂු සංඝයා පරිහරණය කරන්නෙමි. යනුවෙන් හෝ ඔවුහු මා වෙනුවෙන් සිටින්නෝය යන හැඟීම් මාත්‍රයකුද මට නැත.

ආනන්දය තවද මම දැන් අසුවැනි වියට එළඹ සිටින්නෙමි. මගේ සිරුර දිරා ගොසින්ය. මම මහලු වියට පත්ව සිටිමි. දැන් මා දිරා ගිය කරත්තයක්‌ සේ නොවන්නෙහිද? මාගේ අත් පා දුබල වෙමින් තිබේ. යම් සේ දැහැන් බලයකින් මවිසින්ම ඒ සියලු දුබල තැන්, අවසඟව ගිය තැන් වසා වත්තම් කරගෙන සිටින ලද්දේ නමුදු එය ස්‌වභාවය නොවන බව මම දනිමි. මගේ කොඳු ඇට පෙළට දැනුණු පීඩාව ඔබ දන්නෙහිය. මම කිසිවකට පිට දී හිඳ ගතිමි. මට මාරාන්තික රෝග ද විය. මම ඒවා මැඬලීමි. වෙනත් හේතුවක්‌ නිසා නොව භික්‍ෂු සංඝයාටත් ලෝකයටත් මගේ වගකීම ඉටු කිරීමටය. විඩාපත් සිරුර, ක්‌ලාන්ත වන බව මට දැනුණි. ඔබමමගේ දෙපට සිවුර හතරට නමා බිම එළා මට සහනය සැලසුවෙහිය. දෙතිස්‌ මහා පුරුෂ ලක්‍ෂණ ද අසූවක්‌ අනූව්‍යංජණ ද සහිත නෙතඳුනක්‌ සේ බුදුහු වඩිතියි දුටුවෝ කොතරම්ද? එහෙත් ඒ සියල්ල අනිත්‍ය ධර්මතාවට යටත් බව ඔබට ද පසක්‌ විය යුත්තේය. මවිසින් වෙසෙසි නුවණින් දැන දෙසන ලද ධර්මය ඔබට පිහිටට ඇත්තේය. ජාති සංසාරය හැර දුක නැසීමට වීරිය වැඩිය යුත්තේය.

බුදුන් වහන්සේගේ වදන් ආනන්ද හිමියන්ගේ සිත් පතුලට කි¹ බැස ගිය ද සැණකින් උන්වහන්සේට හද දැඩි අන්ධකාරයකින් වැසී යන්නාක්‌ මෙන් දැනෙන්නට ද විය. එහෙත් සිතට දිරි ගත් ආනන්ද හිමියෝ දැසට නැගෙන කඳුළු පිටතට ගලා යැමට අවකාශ නොදුන්හ.

ඉනික්‌බිති බුදුහු ආනන්ද හිමියන් සමගම යළි වඩිනු රිසි වූහ. එසේ වඩිනා අතර ආනන්ද හිමියන් ඇමතූ බුදුහු මෙසේ කීහ

"ආනන්දය....... මේ තථාගතයන්ගේ අවසන් විශාලා නුවර දැකීමය. දැන් අපි භාණ්‌ඩග්‍රාමය වෙත යා යුතු වෙමු."

ආනන්ද හිමියන් තුළ නම් වූයේ දැඩි සෝකයකි. උන්වහන්සේගේ සිත පුරා වැඩුණේ තමන් විසින් වරදක්‌ කරන ලද්දේය යන සිතිවිල්ලමය. භාණ්‌ඩ ග්‍රාමයට වැඩි බුදුහු එහිදී භික්‍ෂු සංඝයා රැස්‌ කරවා "සිල් නම් මෙසේය. සමාධි යනු මෙසේය. ප්‍රඥාව යනු මෙසේය. සීලයෙන් පරිභාවිත සමාධිය මහත්පල මහානිසංස දෙනු ඇත." යනාදී වශයෙන් ධර්ම දේශනයක්‌ ද කළහ. තවද තථාගතයන් වහන්සේ විසින් සියලු පදරුත් අතැඹුලක්‌ සේ වටහා ගන්නා ලද බවත් දෙව්, බඹ, මිනිස්‌ යනාදී සියලු ලෝකයන්හි ඒ ඒ අය විසින් මතු කරන ලද සියලු ප්‍රශ්න විස» බව ද වදාළහ. එසේම බුදුවරයකුගේ ධර්ම ඥානයට අභියෝගයක්‌ නොමැති බව ද පෙන්වා දුන්හ.

"මහණෙනි, මට අසවල් ධර්මය අවබෝධ කර නැතැයි කිසිවකුට කිව නොහැක. මගේ ධර්මය කිසිවකුගේ අවැඩ සඳහා හේතු විය හැකි යෑයි ද කිව නොහැක. එනිසාම මේ ධර්මය මනාව පිළිපදින්න. අනුගමනය කරන්න. එය නිවනටම හේතු වනු ඇත.

බුදුන් වහන්සේ තමන් උදෙසා දහම් දෙසීමේ අවසන් අදියරට එළඹ සිටින බව සිහිකළ පුහුදුන් භික්‍ෂුන් තුළ නම් දැඩි සෝකයක්‌ ඇතිවිය. ඇතැම් භික්‍ෂුන් වහන්සේ නමක්‌ බුදුන්ගේ ලෝකවිදු ගුණය ද සිහි කළේය. එසේ භික්‍ෂූන්ට අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කළ බුදුහු එදින රාත්‍රිය ගෙවීම සඳහා නුදුරුව පිහිටි අඹ උයනකට වැඩියහ. ඒ අඹ උයන නිමල දිය දහරාවන් පිරි පොකුණු පෙළකින් ද තන්හි තන්හි සුසැදි ගිමන් හල්වලින් ද සෝබාමත් විය. හාත්පස මනාව වට මල් ගොමුය. ඉන් ඔබ අඹරුක්‌ පේළිද වෙනත් ඖෂධ රුක්‌ ද විය. ඒ අඹ උයන අයත් වූයේ ගම්පතියකු සේ දනන් අතර පසිඳු චුන්ද නම් ලෝකුරුවකුටය.

බුදුන් වහන්සේ තම අඹ වනයෙහි වැඩ සිටින බව ඇසූ චුන්ද මහත් සේ ප්‍රබෝධයට පත්ව එවේලේම ගොස්‌ උන්වහන්සේට තම ප්‍රණාමය පළකළ යුතු යෑයි සිතා පිටත්ව ගියේය. චුqන්ද තමන් වහන්සේ වෙත එන බව ද බුදුහු දැන සිටියහ. එමතු නොව බුදුන් වහන්සේ උදෙසා පූජා කෙරෙන අවසන් දානය චුන්ද ලෝකුරුචන්ගේ පෙර පැතුමක්‌ පරිදිම සිදුවන්නක්‌ බව ද බුදුහු දුටහ.

චුන්ද මහත් ගෞරවයෙන් බුදු පාමුළ වැඳ වැටුණි. ආනන්ද හිමියෝ ද පසෙක වූහ. බුදුහු චුන්දයන්ට මෙසේ වදාළහ.

"චුන්දය මම ලෝසතුන්ගේ යහපත උදෙසාම, ඔවුන්ගේ සංසාර ගමන නැවැත්වීම උදෙසාම කැප වූ ශාස්‌තෲවරයෙක්‌මි. මම පළමු ද විශුද්ධිය ලදිමි. දැන් ඒ විශුද්ධි මග තහවුරුව, නිවැරැදිව දේශනා කිරීම සඳහා උතුම් සඟ පරපුරක්‌ ද සකසා ඇත්තෙමි. සියලු පව් වලින් වැළකී සිටීම ද තුන් සිත පිරිසිදුව සිටීම ද බුදුවරයන්ගේ අනුශාසනාවය. මේ දෙවියන් සහිත ලොව බුදුවරයකු පහළව, අවිදු අඳුර දුරලීමට ඥාන මාර්ගය සැකසූ බව ප්‍රකටව තිබේ. එහිදී මට ද අප්‍රමාණ බාධා සිදුවිය. යුද බිමට වන් ඇතකු දස දෙසින් එන හී සර ඉවරසන්නාක්‌ මෙන් මමද අසංවර වාග් ප්‍රහාර පරුෂ වචන ඉවසීමි. ඒ කිසිවකින් අකම්පිතව සිටීම බුදු මහිමයයි. මේ දඹදිව රජ,මැති, වෙළෙඳ සිටු යනාdදී සියලු ප්‍රභූහු මට අනුග්‍රහ දැක්‌වූහ. ඒවා මගේ යහපතට නොව සියලු දනන්ගේ යහපතට ම හේතු වනු ඇත. ඔබ ද පසිඳුරන්ට නොවසඟව තෘෂ්ණව දුරලීමට බුද්ධියෙන් ක්‍රියා කළ යුතුය. සදහම් රසයට මෙළොව සියලු රස පසු බසියි. එහි රස දෙව් බඹහු ද ඉඳුරා දනිති. මගේ විලාසය, බුද්ධ මහිමය නොදත් කෙනෙක්‌ භවත් ගෞතමයන් වහන්සේ අනුන් වසඟයට ගන්නා මායා බල සහිත යයි කීහ. එය අනිසි මුසාවකි. මේ ධර්¨මය සුපරීක්‍ෂා කළ හැකිය. එහි තාර්කික බව ඉඳුරා දත හැකිය. ඇසු පමණින් හෝ තර්කයට එකඟ වූ පමණින් හෝ තමන්ගේ දෘෂ්ටිය සමඟ සැසඳුවන පමණින් හෝ කිසිවක්‌ නොගත යුතු බව මගේ අනුශාසනයයි.

තවමත් විශ්වයේ රැව්දෙන යසෝදරාවන්ගේ ආදරයේ හඩ






තුන් ලොවටම මහා කාරුණික වු උත්තරීතර භාවයෙන් ආදරය හා සෙනෙහස දැක්‌ වූ එකම උත්තරීතර මිනිසා අප මහා භාග්‍යවතුන් වහන්සේම විය. එයට තර්කයක්‌ නොමැත. එයට සම කළ හැක්‌කක්‌ද නොමැතිය. උන්වහන්සේ තරම් සත්වයාට ආදරය දැක්‌ වූ තවත් මිනිසෙක්‌ දෙවියෙක්‌ හෝ වෙනයම් සත්වයෙක්‌ මේ මහා සක්‌වල තලයෙහි නොමැතිමය. උන්වහන්සේ සංසාරයෙහි ඉපදෙමින් මැරෙමින් දුක්‌ ගිනි මත දැවෙන අසරණ සත්ත්වයන් වෙත පතල වූ සෙනෙහසින් සත්වයන්ට සදාකාලිකවම දුකින් මිදෙන මාවත පෙන්වා දුන් සේක. ඒ අති උතුම් නිර්වාණයයි.
පෙබරවාරි 14 දිනය සමාජයේ එහෙමත් තැන්නම් ලෝකයේ මෙතෙක්‌ පැවතියේ ආදරවන්තියන්ගේ දිනය ලෙස නම් කරමිනි. මෙය ශ්‍රී ලාංකීය සමාජයේදී ද වෙනසක්‌ නොවෙමින් තාරුණ්‍ය තුළ මුල් බැස ගන්නට විය. "ආදරය" "ප්‍රේමය" හා සෙනෙහසට සීමාවක්‌ බේදයක්‌ නොමැති තරම්ය. එය වූ කලී අනන්ත සංවේදයිතයකි. ආත්මීය ලෙන්ගතු කමේ බාව ප්‍රකාශන මාධ්‍යම වෙයි. ලොවක්‌ බිහි වන්නේත් බිහි වන ලෝකය පවතින්නේත් ආදරය හා සෙනෙහස නිසාමය. ඒ තරමටම මෙම ලෝකයේ ඇගයීමට පාත්‍ර වී ඇත.

නමුත් තත්කාලීන සමාජ වපසරිය තුළ ආදරයට හා සෙනෙහසට සමාජය විසින් ලබා දෙන නිරුක්‌තිය ගැන දැවන්ත ගැටළුවක්‌ පවතී. වර්තමානය තුළ ආදරය හා ප්‍රේමය යන පාරිශුද්ධ වූ දෙවොල අපිරිසිදු වෙමින් පවතී. එහි පූජනීය බව කෙලෙසමින් පවතී. දරු උපතේ පටන් මවක්‌ දරුවකු ආදරයෙන් සෙනෙහසින් තම ලය වෙත තුරුළු කරගත් නිමේශයේ පටන් මරණ මංචකය දක්‌වා මානවයාට මෙම භාවය අත්‍යවශ්‍ය සාධකයකි. කාලයේ අවශ්‍යතාවය දෝ හෝයි අද සමාජයේ පවතින්නේ ආදරයක්‌ සෙනෙහසක්‌ නොව රාගයකි. විශේෂයෙන්ම තරුණ ආදරය තුළ මෙකී කාරණය තිව්‍රර වී තාරුණ්‍ය තුළ විසරණයට ලක්‌වේ. මේ උතුම් මානව භාවීය සිතුවිල්ල වෙළෙඳ භාණ්‌ඩයක්‌ බවට පත් වී පදිකය තුළ විකිණෙන යුගයක්‌ තුළ අද සමාජය හුස්‌ම ගනී.

තුන් ලොවටම මහා කාරුණික වු උත්තරීතර භාවයෙන් ආදරය හා සෙනෙහස දැක්‌ වූ එකම උත්තරීතර මිනිසා අප මහා භාග්‍යවතුන් වහන්සේම විය. එයට තර්කයක්‌ නොමැත. එයට සම කළ හැක්‌කක්‌ද නොමැතිය. උන්වහන්සේ තරම් සත්වයාට ආදරය දැක්‌ වූ තවත් මිනිසෙක්‌ දෙවියෙක්‌ හෝ වෙනයම් සත්වයෙක්‌ මේ මහා සක්‌වල තලයෙහි නොමැතිමය. උන්වහන්සේ සංසාරයෙහි ඉපදෙමින් මැරෙමින් දුක්‌ ගිනි මත දැවෙන අසරණ සත්ත්වයන් වෙත පතල වූ සෙනෙහසින් සත්වයන්ට සදාකාලිකවම දුකින් මිදෙන මාවත පෙන්වා දුන් සේක. ඒ අති උතුම් නිර්වාණයයි.

නමුත් ආදරවන්තයින්ගේ දිනයේ පෙබරවාරි 14 වැනි දා අප කතාකරන්නේ ආදරයේ අති පාරිශුද්ධ වු සංකේතය උතුම් වූ ප්‍රේමයේ අසම සම ප්‍රතිමුර්තියක්‌ වු උත්තමාවියක්‌ ගැනය. ඇය පතිවෘතාවේ පතිනියම විය. ඇය සියළු ප්‍රේමවන්තයන්ට ප්‍රේමවන්තියන්ට පරමාදර්ශීව චරිතයක්‌ වුවාය. ඒ උත්මාවිය අන් කිසිවෙක්‌ නොව අති පාරිශුද්ධ ආධ්‍යාත්මික ප්‍රේමයේ ජීවනාලිය වූ යශෝධරාවයි. අති උතුම් යශෝධරාවයි. උත්තම යශෝදරාවන් තම ස්‌වාමියා වෙනුවෙන් කළ යුග ගණනක කප් ගණනක අසදෘෂ කැපවීම උත්තම පේවීම ගැන අකුරු කරන්නට වචනය, අකුර සීමා සහිතමය. වර්තමානයේ හදවත් ආදරය වශයෙන් හඳුනාගන්නේ රාගයයි. සොයන්නේ රාග මූලික ආදරයකි. නමුත් රාග මුලික වූ ආදරයක්‌ තුළ ඇත්තේ කාම ආශාවක්‌ පමණකි. හැගීමක්‌ සංතෘප්ත කර ගැනීමේ පහත් මනෝභාවයකි. මේ හේතුව නිසාම වර්තමානයේ කෙතරම් නම් තරුණ ජීවිත අසරණ තත්ත්වයට පත් වී ඇත්ද? අහිංසක දරුවන් විශේෂයෙන්ම යුවතියන් මුලාවකට ලක්‌ වී සිහින ලෝක තුළ මත් වී තම ජීවිතයම විනාශ කරගෙන වැළපෙන් ද? කී දෙනෙක්‌ සිය ජීවිතයෙන් පවා වන්දි ගෙවා ඇද්ද? නමුත් එම හදවත් තුළ රාග මූලික වු ආදරයක්‌ නොව ආධ්‍යාත්මික ආදරයක්‌ හට ගත්තා නම් කිසි දිනක කිසි කලෙක එම පිරූ ආදරය මිලින නොවෙනු ඇත. යුග යුග ගණනක්‌ එම ආධ්‍යාත්මික ආදරයේ සුවඳ හදවත් පුරා විසිරි ලේ නහර ඇට මිඳුළු දක්‌වා ගමන් කරනු ඇත. රාගය කියන හැඟêමට එහා ගිය සීමාවේ සිට රාගය අතික්‍රමණය කොට යම් පුද්ගලයෙකුට ආදරය ආධ්‍යාත්මික වූ කැඩපතකින් විනිවිඳ දකින්න පුළුවන් නම් එම ආදරය පරම පුජනීයම වෙත්, ආත්මය සුවඳවත් කරත්.

"සැරයටියෙන් අපි යනෙන තුරා

සංසාරේ අපි එකට යමු"

මෙසේ සසර ගමනේ ආදරය දෝලනය කරන්න නම් ඔබ පිදිය යුත්තේ ආධ්‍යාත්මික වූ ආදරයකි. ඔබ ඔබේ ආත්මයට බද්ධ කර ගත යුත්තේ ආධ්‍යාත්මික වූ ආදරයක්‌ පතන සොයන පෙම්වතෙකි, පෙම්වතියකි. එවිට ඔබේ මුළු ජීවිතයම නොව මුළු සංසාරයම සුවඳවත් වනු ඇත. එහි ප්‍රතිබිම්භය අපේ අති උත්තම යශෝධරාවන්ය.

සාරා අසංඛ්‍යයිය කල්ප ලක්‍ෂයක්‌ පුරාවටම අපේ උත්තම යශෝදරාවන් ප්‍රාර්ථනා කළේ, තුන් සිතින්ම පේඋනේ එකම පතියෙකුටමය. ඒ අප මහා බෝසතාණන් වහන්සේටමය. ඇය සිහින මාත්‍රයක්‌ තුලවත් වෙනත් සැමියෙක්‌, වෙනත් ඇසුරක්‌ සමග තම හදවතේ උතුරා පිටාර ගැලූ ආදරය බද්ධ නොකළාය. සියලු දුක්‌ වේදනා සැප සියල්ලම එකම රිද්මයක්‌ තුළ තම සැමියා වෙනුවෙන් කැටි කළ පාරිශුද්ධ උත්තමාවක්‌ වුවාය. ඇයගේ පතිවෘත්තාවය අබමල් රේනුවක තරම් අඩුවක්‌ නොමැතිය. කැළලක්‌ නොමැතිය. අප කාගේත් පත්තිනි මෑණියන් යශෝදරාවන්ය. කිදුරු ජාතියේ, ඇත් කුලයේදී මෙන්ම කුස ජාතියේදී සහ වෙස්‌සන්තර ජාතියේදී සේම අනන්ත අප්‍රමාණ අහසේ දිලෙන තරු කැටවලටත් එහා ගිය මුහුදේ ඇති වැලි කැටවලටත් එහා ගිය ආත්ම ගණනක්‌ තුළ කළ අසහාය කැප කිරීම අති පාරිශුද්ධමය. එහි පාරමිතාව අහස පොළව කම්පා කරවන තරම්ය.

බුදුබව පතන බෝසත් සැමියෙක්‌ අනන්ත ජාති පුරාවටම තම ස්‌වාමියා බවටම පත් කර ගත්තාය. බෝධිසත්වයෙක්‌ යනු අත්හැරීමේ පාරමිතාව පූරණය කරන උතුමන් වහන්සේ කෙනෙකි. තමන් අත හැර යන බැව් එකාන්ත වශයෙන් දැන දැනත් අපේ උත්තම යශෝදරාව තම සැමියාට පිදූ සෙනෙහස ආදරය කිසිම මොහොතක අත් නොහැරියාය. ඔබ පෙම්වතියක්‌ නම් ඔබේ පෙම්වතා ඔබ අත් හැර ගිය හොත් ඔබ කුමකින් කුමක්‌ කරයිද? නමුදු අපේ යශෝදරාවෝ ඒ සියලු වෙන් වීමේ වේදනාව මුළු හදවතින්ම විඳදරා සැනසුණාය. පූජක බමුණා තම දරුවන් පුදන විට තම සැමියාට සිතුවිල්ලකින්වත් වෛර නොකළාය. ඇයගේ ගුණ කඳ ගැන අකුරු කිරීමට මුළු මහත් විශ්වයම ද මදිය.

මෙවැනි අති උතුම් වූ යශෝදරාවන්ගේ ආදරය හා ආධ්‍යාත්මික සෙනෙහස සමරා සමාජයේ ප්‍රථම වරට ජාතික ආගමික උත්සවයක්‌ පසුගිය වැලන්ටයින් දින ධර්මපාල උයනේදී සිදු කෙරිණි. එතෙක්‌ කල් සමාජයේ ආදරවන්තයින්ගේ දිනය දා පැවතියේ භාවනා වැඩසටහන් හෝ වෙන කිසියම් ආගමික ප්‍රජාවක්‌ තුළට තරුණයන් ගොණු කිරීමය. නමුත් එය ප්‍රායෝගික නොවීය. අප විසින් මුල්වරට මෙදින සැමරුම් දිනය උත්තම යශෝදරාවන්ට වෙන් කළාය. ඒ අති පාරිශුද්ධ වු ප්‍රේමය වෙනුවෙන්ම වෙන් කළාය. එය උතුම් යශෝදරා දිනය බවට පත් කළාය. මෙතෙක්‌ කාලයක්‌ පුරාවට බුදු චරිතය තුළත් සමාජය තුළත් නිදන් ගතව තිබූ උතුම් චරිතයකට ජීවයක්‌ පුදන ලදින් ඇයගේ ගුණ කඳ ගැන කථිකාවන දිනයක්‌ බවට පත් විය. සෑම පෙම්වතෙකුට තම ප්‍රේමයේ පරමාදර්ශී චරිතය වැලන්ටයින් ස්‌වාමිවරයා නොව අපේ අති උත්තමාවිය යශෝදරා බවට පත් කළාය. රාගය පසු පස දුවන පෙම්වතුන් නොව ආධ්‍යාත්මික ප්‍රේමයක්‌ වෙනුවෙන් පෙම් කරන ප්‍රේමවන්තයින් පිරිසක්‌ සමාජයේ බිහි කරන්නට යශෝදරාවන් ගෙන හැර දැක්‌වූවාය. පෙම් කරනා හදවත් තුළ උතුම් යශෝදරාවන් ජීවමාන කළාය.

අපගේ පළමු වැඩසටහන සඳහා කිසිදු මාධ්‍ය ප්‍රචාරයක්‌ නොමැතිව වුවද ගාල්ල නගරයට 2000 ආසන්න තරුණ පිරිසක්‌ සහභාගී වීම යශෝදරාවන්ගේ ශක්‌තියේ ප්‍රාතිභාරයකි. ඒ උත්තමාවියගේ ශක්‌තිය මේ විශ්වයේ තාමත් ජීවමානව පවතී. ඒ ආදරයේ ශක්‌තිය මේ මහා විශ්වය පුරාවටම දෝංකාර දිදී තාමත් පවතී. ඔබ උතුම් යශෝදරාවන්ට තමන්ගේ හදවත ලංකාර බලන්න. ඇයගේ ශක්‌තිය ඔබටත් දැනේවී. ඇයගේ ආශිර්වාදය ඔබට ශක්‌තියක්‌ බවටත් පත් වේවි.

මෙම උතුම් යශෝදරා දිනය සමරා දෙවන වරටත් මෙම අධ්‍යාත්මික ආශිර්වාදාත්මක වැඩසටහන තංගල්ලේ දී පෙබරවාරි 14 වැනි දින පැවැත්වීමට නියමිතය. ඊට මෙවරත් වියතුන් කලාකරුවන් රැසක්‌ සමගින් උතුම් යශෝදරාවන්ගේ කල්ප ලක්‍ෂ හතරේ සංසාරික ආදරය හා ආධ්‍යාත්මික ආදරයකට තම ජීවිතය ළං කර ගන්නේ කෙසේද යන්නත් තම ජීවිතයට උතුම් යශෝදරාවන්ගේ ශක්‌තිය ලබා ගන්නේ කෙසේද යන්න ගැන ඉදිරිපත් වේ. තවත් උතුම් යශෝදරාවන් වෙනුවෙන් විවිධාංග රැසක්‌ද එදිනට තංගල්ලේ දී සමාජයට තිළිණ කිරීමට නියමිතය.

ඔබ ජීවිතය තුළ විවාහය තුළ හා ප්‍රේමය තුළ අසරණ නම් ඔබ සුයහපත් පතියෙක්‌ පතිනියක්‌ සොයයි නම් ඔබ කළ යුත්තේ උතුම් යශෝදරාවන් වෙනුවෙන් තම හදවත මොහොතක්‌ කැප කරන්න. ඒ උත්තම පතිනියගේ ගුණස්‌කන්දය මෙනෙහි කරන්න. උදෑසනම බුදු පහන දල්වා අපේ යශෝදරාවන් වෙනුවෙන් පහන් ආලෝකයක්‌ දල්වා උතුම් ගුණ කද භාවනාවකට ලක්‌ කරමින් මොහොතක්‌ නිහඬවන්න. ඔබට ඒකාන්තයේ උතුම් යශෝදරාවන්ගේ ශක්‌තිය එම උත්තමාවියගේ ආදරණීය පාරමිතා බලය විශ්වයේ සිට ලැබෙනු ඇත. එය ඒකාන්ත සත්‍යයකි.

ඉදිරියේදී අප උතුම් යශෝදරාවන් වෙනුවෙන් විහාරයක්‌ ඉදි කිරීමටත් සහ තවත් වැඩසටහන් පෙළක්‌ සමාජයට දායාද කර උතුම් යශෝදරාවන්ට හා උත්තම ශක්‌තියට පූජා කිරීමටද නියමිතය.